නීති විරෝධී කටයුතු සඳහා කිසිදු ඉඩක් නෑ - ආරක්‍ෂක ලේකම්

සැප්තැම්බර් 09, 2021
  • සියලුම අපරාධ බන්ධනාගාර හරහා සිදු කෙරෙන බවට නිරීක්ෂණය වූ බව පවසයි
  • නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් හා සම්බන්ධ වත්කම් රාජසන්තක කෙරේ
  • සියළුම තොරතුරු සපයන්නන්ගේ රහස්‍යභාවය තහවුරු කෙරේ

රට තුල පැවති සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම, පාතාල ක්‍රියාකාරකම් සහ කප්පම් ගැනීම් වැනි සමාජයට තර්ජනයක් වූ සියලු ක්‍රියාවන්, 2019 වර්ෂයේදී වර්තමාන රජය බලයට පත් වූ දා සිට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මඟ පෙන්වීම යටතේ ඉහළ පෙළේ රාජ්‍ය ආරක්ෂක ආයතනවල ඒකාබද්ධ ප්‍රයත්නයන් මගින් බිඳ දමා ඇති බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා අද (සැප්තැම්බර් 9) දින පැවසීය.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, පසු වසර එකකුත් මාස නවයකටත් වඩා අඩු කෙටි පාලන කාලයේදී, නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 3,200 ක්, පාතාල නායකයින් ග්‍රහණයේ තිබු නීති විරෝධී අවි ආයුධ සහ වෙනත් වර්ග වල මත්ද්‍රව්‍ය රැසක් අද වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

කොවිඩ් - 19 මුවාවෙන් කිසිවෙකුටත් ජාතික ආරක්ෂාව අනතුරේ හෙළීමට රජය ඉඩ නොතබන බව ඔහු එහිදී තහවුරු කළේය.

මේ පිලිබඳ මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ආරක්ෂක ලේකම් අවධාරණය කළේ කිසියම් සිද්ධියක් සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු තිබේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීම් වෙනුවට හුදෙකලා මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම ඵල රහිත දෙයක් බවයි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ පැවති මෙම මාධ්‍ය හමුවට නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ පොලිස්පති චන්දන වික්‍රමරත්න ද සහභාගී වූහ.

බන්ධනාගාර පද්ධතියේ පැවති දූෂණ හා අක්‍රමිකතා මඟහරවා ගැනීම සඳහා අනුගමනය කරන ලද සියලු උපාය මාර්ග පිළිබඳ සඳහන් කරමින් ඔහු පැවසුයේ, රැදවියන්ට බන්ධනාගාරය සමීපව සන්නිවේදනය සිදු කිරීම අවහිර කර එය දැඩි ලෙස නියාමනය කර ඇති අතර එසේ සිදුකලේ සියලු අපරාධ බන්ධනාගාර හරහා ක්‍රියාත්මක කරන බව අප විසින් හඳුනාගෙන ඇති නිසා බවයි.

බන්ධනාගාර තුළ සිට ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ ජාලය මැඩපැවැත්වීම සඳහා හඳුන්වා දුන් කඩිනම් පියවර පිලිබඳ විස්තර කරමින් ඔහු පැවසුයේ, බූස්ස බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් බවට පත් කිරීම එහි මූලික පියවරක් වූ අතර ඉහළ පෙළේ අපරාධකරුවන් මේ වන විටත් එහි සිරගත කර ඇති බවයි.

මීගමුව සහ අඟුණකොලපැලැස්ස බන්ධනාගාරවල ජංගම දුරකථන සංඥා අවහිර කිරීමේ පද්ධතියක් සවි කර ඇති අතර මහර සහ වැලිකඩ බන්ධනාගාර සඳහාද මෙවැනි ආරක්‍ෂක පියවරයන් හඳුන්වා දීමට නියමිත බව ඔහු පැවසීය.

මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය පිලිබඳ විස්තර කරමින් ජෙනරල් ගුණරත්න කියා සිටියේ, කේරල ගංජා කිලෝග්‍රෑම් 20,949 ක්, මත්ද්‍රව්‍ය ඇතුළත් කරල් 42,354 ක් සහ එවැනි ටැබ්ලට් 104,097 ක ප්‍රමාණය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය එක්ව සිදුකල විශාල ප්‍රයත්නයක ප්‍රතිඵලයක් බවයි.

දිවයිනට මත්ද්‍රව්‍ය ගලා ඒමේ සියලු මාර්ග හඳුනාගෙන ඇති බවත් ඔහු මෙම සාකච්ඡාවේදී හෙළි කළේය.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් උළුගේතැන්නගේ උපදෙස් මත නාවික හමුදාව විසින් දිවයින වටා සිටින ධීවර ප්‍රජාව දැනුවත් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව සඳහන් කරමින් ධීවර යාත්‍රා හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටියේ, මුහුදු යන යම් පුද්ගලයින් කොටසක් තම නීති විරෝධී කටයුතු සඳහා හිමිකරුවන්ගේ අනුදැනුමකින් තොරව ධීවර යාත්‍රාවන් භාවිතා කළ හැකි බැවින්, සිය වටිනා යාත්‍රාවන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසයි.

සාක්ෂි සහිතව ඔප්පු වුවහොත් නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සියළුම වත්කම් රාජසන්තක වන බව පොලිස්පති වික්‍රමරත්න ද අවධාරණය කළේය.

අධික ලෙස බෝවන වෛරස් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා හමුදාව ද මැදිහත් වන්නේ ඇයි යන පැනයට ප්‍රතිචාර දක්වමින් ආරක්‍ෂක ලේකම්වරයා පැවසුවේ සන්නද්ධ හමුදා සාමාජිකයින් න්‍යෂ්ටික, ජීව විද්‍යාත්මක හා රසායනික යුද්ධ සඳහා මුහුණ දීමද ඔවුන්ගේ කාර්යයක් වන බැවින් ජීව විද්‍යාත්මක ඝනයට වැටෙන මෙම වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ඔවුන් සමඟ අපේ වෘත්තීය වෛද්‍ය නිලධාරින්ද යොදවා ඇති බවයි.

එන්නත් ලබා ගැනීම සඳහා පැමිණෙන සියලුම ජනතාවට පහසුකම් සැලසීමට අපේ සියලුම එන්නත් මධ්‍යස්ථාන වෙත දැනුම් දී ඇති බව ඔහු තහවුරු කළේය.

දැනට ක්‍රියාත්මක වෙමින් පවතින මෙහෙයුම් පිළිබඳව හෙළිදරව් කරමින් ඔහු සඳහන් කළේ, අන්තර්ජාලය හරහා ගණිකා වෘත්තිය ප්‍රචාරණයට සම්බන්ධ සියළුම පුද්ගලයින් සොයා මෙහෙයුම් සිදු කරමින් සිටින අතර අවසානයේ ඔවුන් නීතිය හමුවට ඉදිරිපත් කරන බවයි.

මේ අතර, දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන තරමක් ලිහිල් කළ ක්‍රමය පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ආරක්ෂක ලේකම්වරයා, අපි පවතින තත්වය ගැන මානුෂීයව සොයා බැලිය යුතුයි යනුවෙන් පැහැදිලි කළේය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඔහු තවදුරටත් කියා සිටියේ, කරුණු නිවැරදිව සනාථ කිරීමේ කාර්ය භාරය නිතීය ක්‍රියාත්මක කරන ආයතන වලට පැවරෙන බැවින් නිසිලෙස විමර්ශන කටයුතු අවසන් කිරීමට යම් කාලයක් ගතවන බවත් යනුවෙන් ය.

ඉහත සිද්ධියට අදාළ තොරතුරු (ඇත්නම්) ඉදිරි නීතිමය කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙස පොලිස්පති වික්‍රමරත්න මහතා ඉල්ලා සිටියේය.

තවදුරටත් අදහස් දැක්වූ පොලිස්පතිවරයා කියා සිටියේ ඕනෑම සිදුවීමකට සම්බන්ධ සියළුම තොරතුරු සපයන්නන්ගේ රහස්‍යභාවය තහවුරු කරන බවයි.