නීතිවිරෝධී මෝරවරල් සහිත ලොරියක්
වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට

සැප්තැම්බර් 10, 2021

නීති විරෝධී ලෙස ලබාගන්නා ලද මෝර වරල් සහිත ලොරි රථයක් සමග සැකකරුවන් පස් දෙනෙක්, බුද්ධි අංශ මඟින් ලද තොරතුරක් මත ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බේරුවල ධීවර වරායේ ධීවර අධීක්‍ෂණය හා නියාමන රාජකාරීන් සඳහා යොදවා සිටින වෙරළාරක්ෂක නිලධාරීන්ගේ සහාය ඇතිව මෙම මෙහෙයුම සිදු කෙරිණි.

වරාය පරිශ්‍රය තුළ අධි ශීතකරණ ලොරි රථයේ සඟවා තිබියදී කිලෝග්‍රෑම් 185 යි ග්‍රෑම් 200 ක් පමණ වන මෙම වියළි මෝර වරල් තොගය සොයා ගත් බව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

බහුදින ධීවර යාත්‍රා කිහිපයකින් එකතු කරන ලද මෝර වරල් විකිණීම සඳහා ප්‍රවාහනය කිරීමට සැලසුම් කර ඇතිබව සිද්ධිය පිළිබඳව සිදුකළ මූලික පරීක්ෂණ වලට අනාවරණය වි ඇත.

අත්අඩංගුවට ගත් ලොරි රථය සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා බේරුවල ධීවර පරීක්ෂක වෙත භාර දී ඇත.