ආරක්‍ෂක ලේකම් මහනුවර ඇසල පෙරහැර ආරක්‍ෂක තත්වය සොයා බැලීමේ සංචාරයක

අගෝස්තු 04, 2019

හෙට සිට ඇරඹෙන ඇසල පෙරහැරේ උපරිම ආරක්‍ෂාව සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව ආරක්‍ෂක ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා පැවසීය. මහනුවර ඇසල පෙරහැර සඳහා වන ආරක්‍ෂක කටයුතු පිළිබඳ සොයා බැලීමට සහ ආරක්‍ෂක මෙහෙයුම්වලට සම්බන්ධ ආරක්‍ෂක අංශ හා පොලිස් නිලධාරීන් හමුවීමට අද (අගෝස්තු 04) දින සිදුකල මහනුවර සංචාරයේදී ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී දළදා මාළිගාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආරක්‍ෂක ලේකම්වරයා මෙම උතුම් ආගමික හා සංස්කෘතික සංදර්ශනය සාර්ථකව නිම කිරීම සඳහා අවශ්‍ය ආරක්‍ෂාව ශක්තිමත් කිරීම සඳහා හැකි සෑම පියවරක්ම රැගෙන ඇති බවට සහතික කළේය. බලධාරීන් විසින් මේ වර්ෂයේ පෙරහැර සදහා ගතයුතු සෑම විශේෂ ආරක්‍ෂක විධිවිධානයක්ම රැගෙන ඇත.

පෙරහැර සඳහා සහභාගී වන කලාකරුවන්ට විශේෂ හැඳුනුම්පතක් නිකුත් කරනු ලැබේ. පෙරහැර සංචාරය කරන මාර්ගයේ තිබෙන සියලුම ගොඩනැගිලි සහ පදිංචිකරුවන්ගේ අනන්‍යතාවය මේ වන විටත් තහවුරු කර ඇත.

ත්‍රිවිධ හමුදාව, පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කරනු ලබන සියලුම ආරක්‍ෂක පියවර සම්බන්ධීකරණය කිරීම සඳහා විශේෂ මෙහෙයුම් මැදිරියක් පිහිටුවා ඇත.

ආරක්‍ෂක ලේකම්වරයා සිය සංචාරයේදී මේ වන විට පෙරහැර සදහා ගෙන ඇති ආරක්‍ෂක විධිවිධානයන් පිළිබඳව ආරක්‍ෂක අංශ, පොලිසිය සහ දළදා මාළිගාවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කරන ලදී. සියලු ආරක්‍ෂක තොරතුරු පිළිබඳව පෞද්ගලිකවම අදාල බලධාරීන්ගෙන් ආරක්‍ෂක ලේකම්තුමන් කරුණු විමසන ලදී. ඉදිරි දින දහයක් පුරා පැවැත්වෙන පෙරහැර උත්සවය සාර්ථකව නිම වන තෙක් ජනතාවගේ සහ ස්ථානවල උපරිම ආරක්‍ෂාව සහතික කරන ලෙස අදාළ නිලධාරීන්ට පැවසීය.

වැඩබලන පොලිස්පති, ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක අංශ සහ පොලිස් නිලධාරීන්, දළදා මාළිගාවේ දියවඩන නිළමේ තුමන් සහ සතර මහා දේවාලයන්හි නිළමේවරුන්ද මෙම අවස්ථාවට සහභාගී විය