වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් අන්තර්ජාතික පුහුණු සැසියක්

සැප්තැම්බර් 15, 2021

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් බටහිර අප්‍රිකානු රටවල් (ඝානාව සහ නයිජීරියාව) සඳහා ‘ප්‍රති නැව් පැහැර ගැනීමේ මෙහෙයුම්’ පිළිබද පුහුණු වැඩමුළුවක් පසුගියදා මිරිස්ස වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු උසස් පුහුණු මධ්‍යස්ථානයේදී ආරම්භ කරන ලදි.

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ගෝලීය සමුද්‍ර අපරාධ වැඩසටහන මේ සදහා පහසුකම් ලබා දෙන බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මෙම පුහුණු වැඩසටහන් සැප්තැම්බර් 13 දා සිට මිත්‍රශීලී විදේශ නීති බලාත්මක කිරීමේ නියෝජිතායතන නිලධාරීන් සඳහා ආරම්භ කරන ලදී.

‘ප්‍රති නැව් පැහැර ගැනීමේ මෙහෙයුම් පිළිබද පාඨමාලාව ’ සහ ‘ප්‍රති නැව් පැහැර ගැනීමේ මෙහෙයුම් උපදේශක පාඨමාලාව’ වශයෙන් පාඨමාලා දෙකක් පැවැත්වීමට නියමිත අතර උසස් පුහුණු මධ්‍යස්ථානයේදී පාඨමාලාවන් පැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ පුහුණුකරුවන්ට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ උපදේශකයින්ගේ සහය ලැබෙන බව ද ඔවුන් පැවසූහ.

රාජ්‍ය තාන්ත්‍රිකයින්, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ උසස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඔක්තෝම්බර් 08 වන දින මෙම සැසිය අවසන් වීමට නියමිතය.

මෙම පාඨමාලාව දෙරට නියෝජනය කරමින් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් 23 දෙනෙකුගෙන් සමන්විත වන බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. ඒ අනුව නයිජීරියානු පොලිස් බලකාය, නාවික රේගු, සමුද්‍ර ඒකකය, නාවික අධිකාරිය සහ ජාතික මත්ද්‍රව්‍ය නීති බලාත්මක කිරීමේ ඒජන්සිය සහ ඝානා නාවික අධිකාරිය සහ නාවික පොලීසිය ඇතුළත් වේ.

මෙම පුහුණුව ජාත්‍යන්තර ආයතන සමඟ සහයෝගයෙන් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ උසස් පුහුණු හැකියාවන් වැඩිදියුණු කිරීම සදහා වන නියමු වැඩසටහනක් ලෙස දියත් කෙරේ.

මෙම පුහුණු වැඩසටහන මඟින් ජාත්‍යන්තර සහයෝගීතාව, වෘත්තීයමය ප්‍රමිතීන් සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ වත්කම් ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගැනීම ද වැඩිදියුණු වන බව ඔවුහු පැවසූහ.