බලහුරුවේ ගංජා වගාවක් යුද හමුදාවෙන් වටලයි

සැප්තැම්බර් 16, 2021

යුද හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරක් මත ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් පසුගිය (14) දින තණමල්විල බලහරුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගංජා වගාවක් වටලන ලදි.

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටයින් විසින් මෙම මෙහෙයුම දියත් කර ඇත.

නීති විරෝධී ගංජා වගාව අක්කර භාගයක පමණ විශාල ඉඩමක සිදු කර ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 10 ක් බව යුද හමුදා ආරංචි මාර්ග හෙළි කරයි.

එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ භට පිරිස් විසින් ගංජා වගාව විනාශ කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.