ඊජිප්තු තානාපති ආරක්ෂක ලේකම් හමුවෙයි

සැප්තැම්බර් 17, 2021

ශ්‍රී ලංකාව සහ මාලදිවයිනට අදාළ ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති අතිගරු හුසේන් එල් සහර්ති මැතිතුමා ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා අද (සැප්තැම්බර් 17) දින කෝට්ටේ, ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදී හමු විය.

උණුසුම් පිළිගැනීමෙන් අනතුරුව, ද්විපාර්ශ්වික වැදගත්වන සහ අන්‍යෝන්‍ය වශයෙන් අදාළ කරුණු පිළිබඳව ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් ඊජිප්තු තානාපතිවරයා සමඟ සුහද සාකච්ඡාවක් පැවැත්වීය.

දෙරට අතර හමුදා පුහුණුවීම් ඇතුළුව ආරක්ෂක සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම  පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැනීම මෙම සාකච්ඡාවේදී  සිදුවිණි.

තවද, දෙරට අතර ආරක්‍ෂක සබඳතා වැඩිදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා තානාපතිවරයා සිය  අදහස් පළ කළ අතර ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම්වරයා ද  ඒ සදහා  කැමැත්ත පළ කළේය.

මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සිහිවටන හුවමාරු කර ගැනීමද සිදුවිය.

කොවිඩ් - 19 පැතිරීම පාලනය කිරීම සඳහා වූ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම සාකච්ඡාව පැවැත්විණි.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි බ්‍රිගේඩියර් දිනේෂ් නානායක්කාර සහ ඊජිප්තු තනාපති කාර්යාලයේ උපදේශක/ උප දූත මණ්ඩල ප්‍රධානී කරීම් අබුලේනීන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.