හෙරොයින් රැගත් තවත් විදේශීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට

සැප්තැම්බර් 18, 2021

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 170 යි ග්‍රෑම් 866 ක් රැගත් විදේශීය යාත්‍රාවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන අද (18 ) පෙරවරුවේ කොළඹ වරායට ගෙන එන ලදී.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි නාවික හමුදාවේ සිඳුරල නෞකාව විසින් ගොඩබිම සිට නාවික සැතපුම් 850 ක පමණ (කිලෝ මීටර් 1574ක් පමණ) දුරින් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරමින් තිබූ මත්කුඩු පටවා තිබූ යාත්‍රාව සමඟ විදේශීය සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදා ආරංචි මාර්ග වලට අනුව මෙම නීති විරෝධී මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් මිලියන 1575කට අධික ය.

අත්අඩංගුවට ගත් යාත්‍රාව බහුදින ධීවර කටයුතු සිදුකරන මුවාවෙන් ජාත්‍යන්තර මුහුදු සීමාවේ රැඳී සිටිමින් මත්ද්‍රව්‍ය දිවයිනට ගෙන ඒමේ සැලසුමක් ඇති බවට නාවික හමුදාව සැක කරයි.

මීට පෙර මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් පිළිබඳව  සිදු කරන ලද පරීක්ෂණවලින්  සොයා ගත් තොරතුරු හා පොලිස් බුද්ධි අංශ විසින් ලද තොරතුරු වලට අනුව  මෙම  මෙහෙයුම සාර්ථක කර ගැනීමට හැකි වූ  බව   නාවික හමුදාව පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන අතර සෞඛ්‍ය සේවා මාර්ගෝපදේශයන්ට අනුකූලව  මෙහෙයුම සිදු කළ බව නාවික හමුදාව තවදුරටත් පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට මූලික වී ක්‍රියාකරන  ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ශ්‍රී ලංකාවෙන් මත්ද්‍රව්‍ය උවදුර දුරලීමේ  ගමක බලවේගය වේ.