වියලි කහ කිලෝ 3704 කට අධික තොගයක් නාවික හමුදා භාරයට

සැප්තැම්බර් 20, 2021

නාවික හමුදාව විසින් මන්නාරම, සවුත්බාර් හා ඉරුක්කලම්පිඩ්ඩි වෙරළ ප්‍රදේශයන්හි සහ මන්නාරම දකුණු මුහුදේ පසුගියදා සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ තවත් වියලි කහ කිලෝ 3704කට අධික තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

වයඹ නාවික විධානය සහ උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබා’ විසින් මෙම මෙහෙයුම් සිදු කර ඇති බව ද ඔවුහු පැවසූහ.

විවිධ අවස්ථා වලදී සිදු කළ මෙහෙයුම් වලදී ඩිංගි යාත්‍රාවක් සමඟ දේශීය සැකකරුවන් සිව් දෙනෙකු මෙන්ම විදේශිකයින් හය දෙනෙකු සහ ඩව් යාත්‍රාවක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදා ආරංචි මාර්ග පවසයි.

මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් සැකරුවන් වයස අවුරුදු 21 ත් 34ත් අතර වයසේ පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන් නිරෝධායනය සඳහා මන්නාරම මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙත භාරදෙන ලදී

මන්නාරම දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ජාතික සැකකරුවන් හය දෙනා සමඟ ඉන්දීය ඩව් යාත්‍රාව මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පිටත්කර හැරීමට කටයුතු කරන ලද අතර, නාවික හමුදා භාරයට ගත් වියලි කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.

සෞඛ්‍ය සේවා මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම මෙහෙයුම් සිදු කළ බව ශ්‍රී ලංකා නාවික හමුදාව තහවුරු කළේය.