යුද හමුදාව ආපදා ප්‍රතික්‍රියා පුහුණුවීම් සිදු කරයි

සැප්තැම්බර් 24, 2021

ශ්‍රී ලංකා යුද හමුදා ආපදා ප්‍රතික්‍රියා පුහුණු මධ්‍යස්ථානය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව ‘ජාත්‍යන්තර සෙවුම් සහ මුදාගැනීමේ උපදේශක කණ්ඩායම’ සඳහා පුහුණුකරුවන් පුහුණුකිරීමේ පාඨමාලාවක් මෑතකදී ගම්පොලදී පැවැත්විය.

මෙහි සමාප්තිය සහ ත්‍යාග ප්‍රදානෝත්සවය මාර්ගගත ක්‍රමවේදය උපයෝගී කරගනිමින් පැවැත්වූ අතර සැප්තැම්බර් මස 13 සිට 17 දක්වා පැවැත්වූ පාඨමාලාව අවසන් කල ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, විශේෂ කාර්ය බලකායේ සහ ගිනි නිවීමේ ඒකකයේ සාමාජිකයින් 40 දෙනෙකු සහතික පත්‍ර ලබා ගත් බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

ආපදා සහන කටයුතුවලට සෘජුවම සම්බන්ධ වන සංවිධාන හා ආයතනවල උපදේශකයින් ඇතුළු නිලධාරින්ගේ දැනුම වැඩිදියුණු කිරිමේ අරමුණින් මෙම පාඨමාලාව සංවිධානය කරන ලදී.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ (විශ්‍රාමික), ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ ජාතික වැඩසටහන් නිලධාරි වෛද්‍ය සපුමල් ධනපාල සහ ආසියාවේ හා පැසිෆික් කලාපයේ ජාත්‍යන්තර සෙවීම් සහ මුදාගැනීමේ උපදේශක කණ්ඩායමේ මහලේකම් හාරුකා එසාකි මහත්මිය මෙම සමාප්ති උත්සවයේදී මාර්ගගත ක්‍රමවේද ඔස්සේ ඔවුන්ගේ දැනුම හුවමාරු කරගත් බව හමුදාව පවසයි.

කොවිඩ්-19 වැලැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදා ආපදා ප්‍රතික්‍රියා පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්, ආපදා ප්‍රතික්‍රියා පුහුණු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් සහ උපදේශකවරුන් ද සහභාගී වූ බව යුද හමුදා ආරංචි මාර්ග සදහන් කරයි.