සඳහිරු සෑය 2021 නොවැම්බර් මාසයේදී බැතිමතුන්ගේ වන්දනාවට - ආරක්‍ෂක ලේකම්

සැප්තැම්බර් 25, 2021

සඳහිරු සෑය ඉදි කිරීමේ ක්‍රියාවලියේ අවසන් අදියරෙහි කටයුතු සම්බන්ධ කරුණු ගෙනහැර දක්වමින් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පැවසුයේ, මෙම පූජනීය ස්ථූපය මේ වසරේ නොවැම්බර් මාසයේදී ජනතා අයිතියට පැවරෙන බවයි.

පස්වන විධායක ජනාධිපති සහ වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අදහසකට අනුව මෙම දැවැන්ත ස්ථුපය 2010 වර්ෂයේදී අනුරාධපුරයේ ඉදිකිරීම ආරම්භ කරන ලද අතර හිටපු ආරක්‍ෂක ලේකම් සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඍජු අධීක්ෂණය යටතේ එය අඛණ්ඩව සිදු කෙරුණු බව ද ඔහු සිහිපත් කළේය.

අද (සැප්තැම්බර් 25) දින සඳහිරු ස්ථූප පරිශ්‍රයට පැමිණි ජෙනරල් ගුණරත්න මෙම අදහස් පළ කළ අතර, සීඝ්‍රයෙන් සිදුවෙමින් පවතින ස්ථූපයේ වැඩ කටයුතුවල අවසන් අදියරෙහි කටයුතු ඔහු විසින් තවදුරටත් නිරීක්ෂණය කරන ලදී.

මේ අතර, ඉදිවෙමින් පවත්නා කෞතුකාගාරය, දොලොස් මහේ පහන, බුද්ධ මන්දිරය, බැතිමතුන්ගේ වාහන නැවැත්වීම සඳහා වෙන් කෙරෙන භූමි ප්‍රදේශය, ශෛලමය පාෂාණ වලින් නිම කෙරෙන සළපතල මළුව ඇතුළු ජල සිසිලන පද්ධතිය සහ භූමි අලංකරණ කටයුතු සිදුවන ස්ථාන ඔහු විසින් නිරීක්ෂණය කල අතර ඒවායේ ඉතිරි වැඩ කටයුතු පිළිබඳව ද සමාලෝචනය කළේය.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නියමිත සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශයන්ට අනුකූලව එම ස්ථානයේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ.

සම්පුර්ණ කටයුතු අවසන් වීමෙන් පසු ස්ථූපයේ මුදුණත ‘චුඩා මාණික්‍ය’ සහ ‘කොත් වහන්සේ’ තැන්පත් කිරීමට සැලසුම් කර ඇත.

එම පුජනීය වස්තූන් මේ වනවිට කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර ඇත.

මෙහි අවසන් අදියරේ කටයුතු සඳහා දායක වන කලාකරුවන්, ආරක්‍ෂක අමාත්‍යාංශ නිලධාරීන්, ප්‍රාදේශීය ජ්‍යෙෂ්ඨ හමුදා සම්බන්ධීකරණ නිලධාරීන් සහ ව්‍යාපෘති භාර නිලධාරින් මේ අවස්ථාවට පැමිණ සිටින ලදී.