ශ්‍රී ලංකා නාවික හමුදාව ජල පිරිපහදු යන්ත්‍රයක් වැලි ඔය පාසලේ ස්ථාපනය කරයි

ජුනි 24, 2019

නිදන්ගත වකුගඩු රෝගයට ගොදුරු වන ප්‍රදේශ වල ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සදහා කැපවෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව ජල පිරිපහදු යන්ත්‍රයක් (Reverse Osmosis) වැලිඔය, පරණගම වැව විද්‍යාලයේ ඊයේ (ජුනි 23) දින ස්ථාපනය කර ඇත. නාවික හමුදා මුල්‍ය දායකත්වය මත ස්ථාපිත කරන ලද මෙම ජල පිරිපහදු යන්ත්‍රය නාවික හමුදාපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සුරතින් විවෘත කරන ලද බව නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි.

මෙම ජල පිරිපහදු යන්ත්‍රය නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සංවර්ධනය කර ස්ථාපනය කරන ලදී. මේ වන විට නාවික හමුදාව විසින් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර 600 කට වඩා වැඩි ප්‍රමාණයක් රට පුරා ස්ථාපනය කර ඇත. නාවික හමුදා ජල පිරිපහදු යන්ත්‍ර සංවර්ධන ව්‍යාපෘතිය 2015 වර්ෂයේ දෙසැම්බර් මස ආරම්භ කර ඇති අතර මේ සදහා නාවික හමුදා සාමාජිකයින් විසින් මූලික අරමුදල් සපයන ලද අතර වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකායේ සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවලද සහාය මේ සදහා ලැබී ඇත.

මේ මගින් නිදන්ගත වකුගඩු රෝගයට ගොදුරු වන ඉහල ව්‍යාප්තියක් පෙන්වන ප්‍රදේශවල දහස් ගනන් පවුල්වල පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට අවශ්‍ය පහසුකම් මේ වන විට ලැබී ඇත.