නව ගසක් - නැවුම් බලාපොරොත්තුවක්

සැප්තැම්බර් 29, 2021

ශ්‍රී ලංකා යුද හමුදාව වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව පසුගියදා මුතූර් නාදතිව් කලපුවේ කඩොලාන පැළ 200 කට අධික ප්‍රමාණයක් රෝපණය කරන ලදී.

223 වන බලසේනාව යටතේ ඇති 15 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් මුතූර් වෙරළ සම්පත් කළමනාකරණ කාර්යාලයේ සහය ඇතිව මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

15 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් රවීන්ද්‍ර රාජගුරු, වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ වෙරළ සම්පත් කළමනාකරණ කාර්යාලය නියෝජනය කරමින් අරුණ ගමගේ මහතා, හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් මෙහිදී පැළ රෝපණය කරන ලදී.

මේ අතර, 1 වන ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායේ භට පිරිස් විසින් පසුගියදා නිලාවේලි බීජ ගොවිපල තවාන සමඟ සබඳතාවයෙන් කන්තලේ ඇල්ල ප්‍රදේශයේ අක්කර 10 ක පොල් පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

ප්‍රාදේශීය පොල් වගාව වැඩි කිරීමේ අරමුණින් පොල් වගා කිරීමේ මණ්ඩලය මෙම ව්‍යාපෘතියට සහයෝගය දුන් බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

මෙම ව්‍යාපෘතියට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් ඇතුළු 1 වන ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායේ නිලධාරීන් සහභාගී වූ බව යුද හමුදාව තවදුරටත් පැවසීය.