බෞද්ධ සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යුද හමුදා සහාය

සැප්තැම්බර් 29, 2021

ත්‍රිකුණාමලය, අම්පාර සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක වල කලක් තිස්සේ නිසි ලෙස නඩත්තු නොකරන ලද බෞද්ධ සිද්ධස්ථාන කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් සිය තාක්ෂණික හා ශ්‍රම දායකත්වය ලබා දී ඇත.

හමුදා සිවිල් සහයෝගීතාව නැංවීමේ කොටසක් ලෙස, කරන ලද ඉල්ලීම් වලට ප්‍රතිචාර වශයෙන් නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් විසින් මෙම ව්‍යාපෘති වල වැඩ කටයුතු භාරගෙන ඇති බව හමුදාව පවසයි.

ඒ අනුව, ත්‍රිකුණාමලයේ ස්ථාපිත 22 වන සේනාංකය යටතේ ඇති භට පිරිස් විසින් පච්චානූර්හි කොට්ටියාරාම පුරාණ රජමහා විහාරය, ලුණුගල රජමහා විහාරය, ගෝමරන්කඩවල ලංකාරාම රජමහා විහාරය, කුච්චවේලි සමුද්‍රගිරි පිච්චමලේ රජමහා විහාරය සහ ඓතිහාසික ගිරිහඬු සෑය ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා දායකත්වය ලබාදේ.

මේ අතර, දිඹුලාගල කළුකැලේ ශ්‍රී සුගතාරාම විහාරස්ථානය, බකමූණ ශ්‍රී ශෛලබිම්බාරාම විහාරස්ථානය, ගල්ලෑල්ල ශ්‍රී අග්‍රබෝධි විහාරය, සෝමාවතියේ ශ්‍රී ශාන්ති නිකේතනාරාමය, ගිරිතලේ උණගලවෙහෙර රජමහා විහාරය, මයිලන්කරච්චිහි ශ්‍රී මහින්දරාම විහාරය සහ පුලතිසිගම සිරි පැරකුම් මහා පිරිවෙන යන ආගමික ස්ථානයන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා 23 වන සේනාංකයේ භට පිරිස් යොදවා ඇත.

24 වන සේනාංකයේ භට පිරිස්වල දායකත්වයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන කිහිපයක ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙන බවද යුද හමුදා ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව, අම්පාර අරන්තලාව විහාරය, පොල්වත්ත ශ්‍රී ඕවගිරි රජමහා විහාරය, හිඟුරාණ උත්තර ජයමහා විහාරය, අම්පාරේ ඓතිහාසික දීඝවාපිය රජමහා විහාරය, ලාහුගල කොටවෙහෙර දීගලක විහාරය සහ අම්පාර ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන යන ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යුද හමුදා භට පිරිස් දායකත්වය ලබාදේ.