යාපනය ශික්ෂණ රෝහල වෙත ගුවන් හමුදාවෙන් වෛද්‍ය උපකරණ

සැප්තැම්බර් 29, 2021

කොවිඩ් - 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය  වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් යාපනය ශික්ෂණ රෝහල වෙත මෑතකදී භාර දෙන ලදී.

ඒ අනුව, කොවිඩ් -19 රෝගීන්ට ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය රුධිර පීඩන උපකරණ, ඔක්සිජන් සිලින්ඩර්, ස්පන්දන ඔක්සිමීටර, අධෝරක්ත උෂ්ණත්වමාන ඇතුළු වෛද්‍ය උපකරණ රෝහල් බලධාරීන් වෙත භාර දෙන ලදී.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමිණි පතිරණ මහත්මියගේ උපදෙස් මත  ‘ගුවන් මිතුදම්’ වැඩසටහනේ, සැප්තැම්බර් මස 27 වන දින පලාලි හිදී අවසන් වූ එකොලොස්වන අදියර යටතේ මෙම වැඩසටහන සංවිධානය කර තිබිණ.

වසංගත තත්වය තුළ මෙම උපකරණවල වැදගත්කම ගැන සඳහන් කරමින් යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ටී. සතියමූර්ති ගුවන් හමුදාව වෙත සිය කෘතඥතාව පළ කළ බව ගුවන් හමුදාව පවසයි.

සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම වැඩසටහන සංවිධානය කර ඇත.