බන්ධනාගාර නිලධාරීන් සඳහා වන වැඩමුළුවේ ආරාධිත දේශනය ආරක්‍ෂක ලේකම් විසින්

සැප්තැම්බර් 30, 2021

සිරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල කල්ලි  බන්ධනාගාර තුළ සිටම තම ජාල අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම ඇතුළු ඔවුන්ගේ සියලු නිතීවිරෝධි ක්‍රියාවල පැවැත්ම බන්ධනාගාර නිලධාරීන්ගේ හැසිරීම මත රදා පවති.

බන්ධනාගාර තුළ සිදු කෙරෙන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා සාධනීය වෙනස්කම් සිදු කර ඇති අතර එවැනි ක්‍රියාමාර්ග හේතුවෙන් නීතිවිරෝධි කටයුතු විශාල ලෙස අඩු වී ඇති බව මම සතුටින් ප්‍රකාශ කරමි.‍

ආරක්‍ෂක ලේකම් සහ සුරක්‍ෂිත රටක්, විනයගරුක, ගුණවත් හා නීත්‍යානුකූල සමාජයක් ගොඩනැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මෙම අදහස් පළ කළේ, බන්ධනාගාර කොමසාරිස්වරුන් සහ අධිකාරීවරුන් සඳහා පැවති ‘බන්ධනාගාර තුළ කැරලි සහ ප්‍රාණ ඇපකරුවන් රඳවා ගැනීමේ සිදුවීම් සබැඳි ආරක්ෂක  සැලැස්ම සඳහා සූදානම් වීම’ යන මැයෙන් ඇරඹි දෙදින වැඩමුළුව සඳහා ආරාධිත දේශනය පවත්වමිනි.

මෙම වැඩමුළුව අද (සැප්තැම්බර් 30) දින උදෑසන ගාල්ල, උණවටුන ‘අරලිය බීච් රිසෝට්’ හෝටලයේදී ආරම්භ විය.

ආරක්‍ෂක ලේකම් තනතුරේ වගකීම සහ වැදගත්කම ඉස්මතු කරමින් ඔහු කියා සිටියේ, ජනාධිපතිවරයාගේ විෂය පථයට අයත් අමාත්‍යාංශයක ඉහළම නිලධාරියා වශයෙන් ජාතික ආරක්‍ෂක යාන්ත්‍රණයක් තුළින් සියලුම පුරවැසියන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමේ වගකීම ඔහු මත පැවරෙන බවයි.

ආදර්ශමත් හැසිරීම් තුළින් බන්ධනාගාර නිලධාරීන්ගේ වෘත්තීය ගරුත්වය පවත්වා ගැනීමේ වැදගත්කම ඔහු අවධාරණය කළ අතර එසේ කිරීමට අපොහොසත් වන අය සේවයෙන් නෙරපා හැරිය යුතු බව ඔහු පැවසීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ අධිකරණ ඇමති ජනාධිපති නීතීඥ  අලි සබ්රි මහතා ප්‍රධාන දේශනය පැවැත්වීය.

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ අනුග්‍රහයෙන් මෙම වැඩමුළුව  සංවිධානය කරන ලදී.

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සහ ජාත්‍යන්තර අපරාධ වැළැක්වීමේ මධ්‍යස්ථානය ඒකාබද්ධ කර 1997 දී පිහිටුවන ලද එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය නීති විරෝධී මත්ද්‍රව්‍ය හා ජාත්‍යන්තර අපරාධවලට එරෙහි සටනේ ජාත්‍යන්තර වශයෙන් විශාල කාර්ය භාරයක් ඉටු කරයි.

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු පිළිබඳ රාජ්‍ය  අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරල් වී ආර් සිල්වා (විශ්‍රාමික), බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ජාතික විශේෂඥ ආචාර්ය නිලුපුල් ගුණවර්ධන ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ‍.

මෙම සැසිවාරයේදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච් එම් ටී එන් උපුල්දෙණිය ආරක්‍ෂක ලේකම් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.