නාවික හමුදාවේ ‘ජයසාගර’ නෞකාව නාවික හමුදා සේවය අවසන් කරයි

ඔක්තෝම්බර් 01, 2021

නාවික හමුදාවේ ‘ජයසාගර’ නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උත්තමාචාර පුදකර නාවික සේවයෙන් ඉවත් කිරීම, පසුගිය බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 30) දින ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේදී පැවැත්විණි.

දශක හතරකට ආසන්න කාලයක් නාවික හමුදාවේ සමුද්‍රීය ආවේක්‍ෂණ නෞකාවක් ලෙස සේවය කර ඇති මෙම නෞකාව කොළඹ නැව් තඨාකාංගනයේදී නිෂ්පාදනය කර 1983 දෙසැම්බර් 09 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජයසාගර’ (පී 601) ලෙස අධිකාරියට පත්කර ඇති බව නාවික හමුදා මාධ්‍ය වාර්තා කරයි.

1990 දශකයේ අග භාගය දක්වා නාවික හමුදා නෞකා සමූහයේ ධජ නෞකාව ලෙසද කටයුතු කරන ලද මෙම නෞකාව, මානුෂීය මෙහෙයුම සඳහා ද සුවිශේෂී දායකත්වයක් ලබා දෙන ලදී.

1994 සැප්තැම්බර් මාසයේදී ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන ප්‍රහාරයකට ගොදුරු වීමට පෙර මෙම නෞකාව එම පන්තියට අයත් අනෙක් නෞකාව වන ‘සාගරවර්ධන’ නෞකාවද (පී 602) සමග ආවේක්‍ෂණ මෙහෙයුම් වල නිරත විය.

1990 වර්ෂයේදී මන්නාරම දූපතේ අවතැන්වූ සිවිල් ජනතාව ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදා ගැනීම සඳහා දියත්කළ ‘රණදෙරණ’ ක්‍රියාන්විතයට දායක වූ ‘ජයසාගර’ නෞකාව එහි වැදගත් කාර්යභාරයක් ඉටු කරන ලදී. 1990 වර්ෂයේ මැලේසියාවේ පැවති ජාත්‍යන්තර නෞකා දැක්ම සඳහා සහ 1999 වර්ෂයේ ඉන්දියාවේ අන්දමන් සහ නිකෝබාර් දූපත්හි පැවති මිලාන් නාවික අභ්‍යාසය ඇතුළු නාවික අභ්‍යාසයන් සඳහා මෙම නෞකාව සහභාගී වී තිබේ.

මෙම නෞකාව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාර දීමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම අවස්ථාව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.