දකුණු සුඩානයේ ශ්‍රී ලංකා සාමසාධක භට කණ්ඩායමට පදක්කම් පිරිනැමේ

ඔක්තෝම්බර් 02, 2021

දකුණු සුඩානයෙහි එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීහි නියුතු ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් සඳහා පදක්කම් පිරිනැමීම පසුගියදා දකුණු සුඩාන රෝහල් පරිශ්‍රයේදී සිදුකරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය බලකා ආඥාපති මේජර් ජෙනරල් මේන් උල්ලා චෞද්රි සහ එහි නැගෙනහිර කොටසේ බලකා මූලස්ථාන කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගි වූ බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

දකුණු සුඩානයේ ‘SRIMED’2 වන අදියරේ රෝහලේ අණදෙන නිලධාරී කර්නල් ඩී.ආර්.එස්.ඒ. ජයමාන්න විසින් නියෝජ්‍ය බලකා ආඥාපති පිළිගනු ලැබීය.

‘SRIMED’2 වන අදියරේ රෝහල් සාමාජිකයින් විසින් සිදු කරන ලද සරඹ සංදර්ශනයකින් සහ සංස්කෘතික සංදර්ශනයකින් මෙම අවස්ථාව වර්ණවත් වූ බව ද යුද හමුදාව පවසයි.

මෙම අවස්ථාවට ක්ෂේත්‍ර කාර්යාල ප්‍රධානී ඉසිදෝර් බොච්චුයි, නියෝජ්‍ය කලාප ආඥාපති කර්නල් හැපි රුවූෂ සහ ක්ෂේත්‍ර පරිපාලන කාර්යාල නියෝජිත එෆ්රම් අරයා ද සහභාගී වූහ.

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන්හි නියුතු 66 දෙනෙකුගෙන් සමන්විත මෙම භටපිරිස් කණ්ඩායම නියමිත සේවා කාලය අවසන් වීමෙන් පසු නැවත සිය මව්බිමට පැමිණීමට නියමිත බව යුද හමුදාව තහවුරු කළේය.