ශ්‍රී ලංකා සහ ඉන්දියානු යුද හමුදා ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසයෙහි නිරත වේ

ඔක්තෝම්බර් 04, 2021

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අඛණ්ඩව 8 වන වරටත් පැවැත්වෙන ‘මිත්‍ර ශක්ති’ ඒකාබද්ධ යුද අභ්‍යාසය ඔක්තෝම්බර් මස 03 සිට 17 දක්වා පැවැත්වෙන අතර එයට සහභාගී වීම සඳහා ඉන්දීය හමුදා භටයින් 120 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය දා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් මෙරටට පැමිණියහ.

මෙම පුහුණු අභ්‍යාශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් බී. එන්. ගොඩැල්ලවත්ත සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් විකාස් සූද් විසින් කර්නල් ප්‍රකාශ් කුමාර්ගේ නායකත්වයෙන් යුත් ඉන්දියානු හමුදා කණ්ඩායම ගුවන් තොටුපළේදී පිළිගන්නා ලදී.

ඉන්දියානු කණ්ඩායමට සමාන සංඛ්‍යාවකින් යුතුව ශ්‍රී ලංකා යුද හමුදාවේ විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් මෙම අභ්‍යාසයට සහභාගී වන අතර ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ මෙම අභ්‍යාසයේ අධ්‍යක්ෂ වන 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ යන නිලධාරීන්ගේ පුර්ණ අධීක්ෂණය යටතේ අම්පාර සටන් පුහුණු පාසලේදී පැවැත්වෙන බව යුද හමුදාව සඳහන් කළේය.

කර්නල් ගිරිෂ් ගොඩියල්, කර්නල් ජෝන් ඩැනියෙල් සහ ලුතිනන් කර්නල් සූලගේ මීරා යන ඉන්දියානු හමුදා නිලධාරීන් මෙහි අවසාන අදියරේ නිරීක්‍ෂකයින් ලෙස කටයුතු කරනු ඇත.

ජාත්‍යන්තර ත්‍රස්තවාදය, අන්තර් ක්‍රියාකාරිත්ව කුසලතා, ඒකාබද්ධ උපායශීලී මෙහෙයුම් පැවැත්වීම, එකිනෙකාගේ දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීම යනාදිය පිළිබඳ අවබෝධය වැඩිදියුණු කර ගැනීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මෙම ද්විපාර්ශ්වික ඒකාබද්ධ යුද අභ්‍යාසය සැලසුම් කර ඇති බව යුද හමුදාව තවදුරටත් සඳහන් කළේය.

ද්විපාර්ශ්වික හමුදා සහයෝගීතාව ශක්තිමත් කිරීම, අසල්වැසි සබඳතා අවබෝධ කර ගැනීම සහ ශක්තිමත් කිරීම සඳහා විශාල වශයෙන් දායක වන මෙම පුහුණු අභ්‍යාසය සෑම වසරකම ඉන්දියාවේදී හෝ ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.

කොවිඩ් -19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව, ජෛව බුබුල පවත්වා ගනිමින් මෙම අභ්‍යාසය සිදුකරන බව යුද හමුදාව තහවුරු කළේය.