ඉන්දීය හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා තරඟවලට සහභාගී වෙති

ඔක්තෝම්බර් 06, 2021

(මාධ්‍ය නිවේදනය)

ඉන්දියානු යුද්ධ හමුදාවේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ක්‍රීඩකයින් අතර ක්‍රීඩා කෞෂල්‍යයන්, ද්වීපාර්ශ්විය සබඳතා සහ සහයෝගීතාවයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් ‘Army to Army Sports Exchange’ (යුද්ධ හමුදා ක්‍රීඩා හුවමාරු වැඩසටහන) යටතේ ඉන්දියානු යුද්ධ හමුදාවේ ක්‍රීඩකයින් 61 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එළඹෙන සතියේ දිවයිනට පැමිණීමට නියමිතය. එසේ මෙරටට පැමිණෙන ඉන්දියානු යුද්ධ හමුදා ක්‍රීඩකයින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සහෝදර ක්‍රීඩකයින් සමඟ හොකී, පැසිපන්දු, වොලිබෝල් සහ ක්‍රිකට් යන ක්‍රීඩා ඉසව් ඔස්සේ තරඟාවලියන්ට සහභාගී වෙති.

2021 වර්ෂයේදී අත්දුටු කොවිඩ් - 19 වසංගත තත්ත්වය හමුවේ වූවද ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයක් මත පුරා දින 6 ක් ලෙස දීර්ඝ කරනු ලැබු මෙම ක්‍රීඩා හුවමාරු වැඩසටහන යුද්ධ හමුදා ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට ශක්තියක් ලබාදෙයි. එය ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩාව නව තලයකට ගෙන ඒමට බෙහෙවින් උපකාරි වනු ඇත. තවද, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල සංඛ්‍යාවක් ජාතියට විශේෂයෙන් දායාද කරන ප්‍රධාන පෙළේ ආයතනයකි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩකයින් සමඟ වොලිබෝල්, කබඩි, පැසිපන්දු සහ හොකී ආදී තරඟ ඉසව් කිහිපයකට පසුගිය කාලවලදී ඉන්දියානු යුද්ධ හමුදා ක්‍රීඩකයින් සහභාගී වූවද එක්වරකදී මෙපමණ ක්‍රීඩකයින් සංඛ්‍යාවක් සහභාගීවන ප්‍රථම අවස්ථාව මෙය වේ. ඒ අනුව, මෙම සුහද තරඟ සඳහා ඉන්දියානු යුද්ධ හමුදාවේ නිලධාරින් 02 දෙනෙකු සහ සෙසු නිලයින් 59 දෙනෙකු ඇතුළු ක්‍රීඩකයින් 61 දෙනෙකු සහභාගී වෙති. ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති වන ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත දියත්වන මෙම වැඩසටහන යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් නලින් බණ්ඩාරනායක සම්බන්ධීකරණය කර සංවිධානය කරනු ලබයි.

ඒ අනුව, ශ්‍රී ලංකා සහ ඉන්දියන් යුද්ධ හමුදා ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන හොකි තරඟය කොළඹ කෘත්‍රීම හොකි ක්‍රීඩාංගණයේත්, පැසිපන්දු සහ වොලිබෝල් තරඟ පනාගොඩ යුද්ධ හමුදා ක්‍රීඩා ගම්මානයේත් පැවැත්වේ. එදිනම ඔවුන් වෙත ත්‍යාග සහ සම්මාන ප්‍රදානය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම් දෙකක් සමඟ දොඔගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ක්‍රිකට් තරඟාවලියක් ද පැවැත්වේ.

සංචාරය සඳහා සහභාගී වන ඉන්දියානු යුද්ධ හමුදා ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට පෙර ගාල්ල, පින්නවල, මහනුවර සහ සීගිරිය යන ප්‍රදේශවල ද සංචාරයක් සිදුකිරීමට නියමිතය. (නිමාව)

 

අනුග්‍රහය - www.army.lk