ශ්‍රී ලංකා ගුවන් හමුදාව රක්ෂිතයට ඉහළින් “බීජ බෝම්බ” හෙළයි

ඔක්තෝම්බර් 08, 2021

සියඹලාණ්ඩුව වත්තේගම කැබිලිත්ත රජයේ වන රක්ෂිතය වෙත මෙම සතිය තුළ  බීජ බෝම්බ තොගයක් හෙළනු ලැබීය

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මෙම මෙහෙයුමේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින්  අක්කර 495 ක් පමණ වන රක්ෂිතයට ඉහලින් බීජ බෝම්බ 75,000 ක් හෙළන ලද බව ගුවන් හමුදා මාධය පවසයි.

මෝසම් කාලයට සමගාමීව මෙම බීජ බෝම්බ හෙළනු ලැබූ අතර එමඟින් බීජ පැල ප්‍රරෝහණය හා මුල් බැස ගැනීම වැඩි වේ.

2030 වර්ෂය වන විට වනගහණය 27% සිට 32% දක්වා ඉහළ නංවමින් රටේ තිරසාර සංවර්ධන ඉලක්ක කරා ළඟාවීම සඳහා ශ්‍රී ලංකාවේ වන ඝනත්වය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් මෙහෙවර මඟින් වටිනා ශාඛ බීජ සහිත බීජ බෝම්බ දහස් ගණනක්  රනෝරාව රජයේ වනාන්තරය සහ ලාහුගල ජාතික වනෝද්‍යානය ඇතුළු වන රක්ෂිත වලට දමා ඇති බව ගුවන් හමුදා මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් හමුදාවේ එම්අයි -17 හෙලිකොප්ටරයක් භාවිතා කර මෙහිදී දමන ලද බීජ අතර කොන් , කොහොඹ, මයිල, මා දන්, සියඹලා, මී, පලු, කුඹුක්, වීර, බුලු, කිතුල්, මුනමල්, අරළු සහ දොඹ  ආදී දේශීය ශාඛ බීජ අඩංගු බව ගුවන් හමුදාව පවසයි .