විශේෂ ආරක්‍ෂක විධිවිධාන මධ්‍යයේ මහනුවර ඇසල පෙරහැර සාර්ථකව පැවැත්වේ

අගෝස්තු 07, 2019

සඳුදා (අගෝස්තු 05) දින ආරම්භ වූ වාර්ෂික ඇසල පෙරහැර අද (07) වීදි සංචාරය කරන තෙවන දිනයයි. ආරක්‍ෂක මෙහෙයුම් සඳහා ප්‍රමාණවත් ත්‍රිවිධ හමුදා, පොලිස්, විශේෂ කාර්ය බලකා සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් යොදවා ඇති අතර දැඩි ආරක්‍ෂක විධිවිධානයන් ක්‍රියාත්මක වේ.

ආරක්‍ෂක විධිවිධාන සමාලෝචනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදා, පොලිස්, විශේෂ කාර්ය බලකා සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමග මීට ප්‍රථම රැස්වීම් කිහිපයක් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා විසින් පැවැත්වීය. එතුමන් පසුගිය ඉරිදා (04) දින සිදු කල මහනුවර සංචාරයේදී පෙරහැර සදහා වන විශේෂ ආරක්‍ෂක විධිවිධානයන් පිළිබඳව පෞද්ගලිකවම සොයා බැලීය.

ඒකාබද්ධ ආරක්‍ෂක මෙහෙයුම් කටයුතු සම්බන්ධීකරණය කිරීමේ අරමුණින් විශේෂ මෙහෙයුම් මැදිරියක් පිහිටුවා ඇත.සංචාරය කරන බැතිමතුන්ට සහ නගරය හරහා දිවයිනේ වෙනත් ප්‍රදේශවලට ගමන් කරන අයගේ ගමනාගමන කටයුතු පහසු කිරීම සදහා විශේෂ ගමනාගමන විධිවිධාන සලසා ඇත. ජනතාවගේ සහ නගරයේ උපරිම ආරක්ෂාව සහතික කිරීම සඳහා මාර්ග බාධක, අහඹු පරීක්ෂාවන් සහ ආරක්‍ෂක මුර සංචාරයන් සිදු කෙරේ.

සඳුදා දින පැවැත්වූ කුඹල් පෙරහැර සමඟ ආරම්භ වූ මහනුවර ඇසල පෙරහැර අගෝස්තු 15 වන දින දක්වා පැවැත්වේ. අතීතයේ සිට පැවත එන ඉතා දිගු ඉතිහාසයක් ඇති ඇසල පෙරහැර රට තුළ පැවැත්වෙන වාර්ෂික උතුම් ආගමික හා සංස්කෘතික සංදර්ශනවලින් එකකි