නාවික හමුදාවෙන් තවත් ජලපිරිපහදු මධ්‍යස්ථානයක් මහවට

ඔක්තෝම්බර් 11, 2021

නාවික හමුදාව සිය සමාජ සත්කාර සේවය තවදුරටත් ඉදිරියට ගෙනයමින් තවත් ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක් ඊයේ (10) දින මහව, බක්මීගහවත්ත ප්‍රදේශවාසීන් සඳහා ස්ථාපිත කරන ලදී.

අලුතින් ස්ථාපනය කරන ලද මෙම පහසුකම නාවික හමුදාව විසින් ඉදිකරන ලද 875 වන ජල පිරිපහදු මධ්‍යස්ථානය වන අතර එය නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චන්දිමා උළුගේතැන්න මහත්මිය විසින් විවෘත කරන ලදී.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණය මත ඩිබි සිලෝන් ආයතනයේ අධිපති ධනංජය බංඩාර මහතාගේ මුල්‍ය දායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය සිදුකර ඇති බව නාවික හමුදා ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව මෙමගින් බක්මීගහවත්ත ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 03 ක පවුල් 975 කගේ පානීය ජල අවශ්‍යතාවයන් සෞඛ්‍යාරක්‍ෂිතව සපුරා ගැනීමට හැකියාව ලැබෙන බව නාවික හමුදාව පවසයි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම අවස්ථාව සඳහා ව්‍යාපෘතියේ අනුග්‍රහකයින් ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සහභාගී වූහ.