‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසය තුළින් ශක්තිය හා මිත්‍රත්වය ඉහළ නංවන බව ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි පවසයි

ඔක්තෝම්බර් 15, 2021

ඉන්දීය යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර පවත්නා සුහදත්වය සහ සහයෝගය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් පැවැත්වු 8 වන මිත්‍ර ශක්ති ඒකාබද්ධ යුද පුහුණු අභ්‍යාසයේ අවසන් ප්‍රහාරය සිකුරාදා (15) දින උදෑසන මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ නගරබද සටන් පුහුණු පෙදෙසේ දී පැවැත්විණි.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන (General Manoj Mukund Naravane) සහභාගි වු අතර ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ද එම අවස්ථාවට එක්විය.

කර්නල් ප්‍රකාශ් කුමාර් ගේ අණදීම යටතේ ඉන්දීය යුද්ධ හමුදා භටයින් 120 දෙනෙකු සහ මේජර් මහේෂ් පතිරාජ ගේ අණදීම යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විජයබාහු පාබල රෙමේන්තුවේ භටයින් 120 දෙනෙකු සහභාගි වු 8 වන මිත්‍ර ශක්ති ඒකාබද්ධ යුද පුහුණු අභ්‍යාසය 2021 ඔක්තෝබර් මස 03 වන දින ආරම්භ කෙරිණි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ මගපෙන්වීම යටතේ 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ මෙම යුද අභ්‍යාසයේ අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කල අතර නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් බී.එන්. ගොඩැල්ලවත්ත කටයුතු කළේය.

ඉන්දු - ශ්‍රී ලංකා ද්විපාර්ශවික ඒකාබද්ධ යුද අභ්‍යාසය අතරතුරදී, ජාත්‍යන්තර ත්‍රස්තවාදය, අන්තර් සම්බන්ධතා වැඩිදියුණු කරගැනීම, යුද සහයෝගීතාවය, ඒකාබද්ධ මෙහෙයුම් පැවැත්වීම, දෙරට අතර යුද අත්දැකීම් හුවමාරු කරගැනීම යනාදී කරුණු පිළිබඳ අවධානය යොමුකරමින් අම්පාර සටන් පුහුණු පාසලේදී උපාය මාර්ගික ක්‍රමවේදයන් උපයෝගි කරගනිමින් මෙම යුද අභ්‍යාසයේ පෙර පුහුණුවීම් සිදුකර නගරබඳ සටන් ඇතුලත් මෙම යුද අභ්‍යාසයේ අවසන් ප්‍රහාරය සාර්ථකව දියත් කරන ලදී.

මෙම යුද අභ්‍යාසයේ අවසන් ප්‍රහාරය දැකබලාගැනීම සඳහා සම්භාවනීය ආරාධිත අමුත්තන් ලෙස සපැමිණි ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, මෙම යුද අභ්‍යාසයේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් නිශාන්ත මානගේ විසින් මහත් හරසරින් යුතුව පිළිගත්තේය.

මෙරට සංචාරයක නිරතව සිටින ඉන්දියානු යුද්ධ හමුදා ප්‍රධානි සමගින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් එම පරිශ්‍රය වෙත පැමිණීමෙන් අනතුරුව මෙවර ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසයේ පෙර පුහුණුවීම් පිළිබඳ වීඩියෝ දර්ශන කිහිපයක් දැක බලාගැනීමට ඉඩ හසර සැලසිණි.

සන්නාහ සන්නද්ධ රථ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා යොදාගනිමින් සිදුකරනු ලැබූ පුහුණු අභ්‍යාසයන් සඳහා දෙරටේම යුද්ධ හමුදා භටපිරිස් සහභාගී වූහ. සති දෙකක් පුරාවට පැවති මෙවර යුද අභ්‍යාසයේ නිරීක්‍ෂකයින් ලෙස කටයුතු කළ කර්නල් ගිරිෂ් ගොඩියල් (Colonel Girish Godial), කර්නල් ජෝන් ඩැනියෙල් (Colonel John Daniel) සහ ලුතිනන් කර්නල් සුලාගේ මීරා (Lieutenant Colonel Zulage Meera) අභ්‍යාසයේ ප්‍රගතිය සහ ක්‍රියාකාරකම් ඇගයීමට ලක් කෙරිණි.

සතුරන් සැඟව සිටින ස්ථාන වලට ප්‍රහාර එල්ල කිරීම් ඇතුලත් විනාඩි 40 ක පමණ කාලයක් පුරාවට පැවති මෙවර යුද අභ්‍යාසයේ අවසන් ප්‍රහාරය ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරවාන සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ දැඩි අවධානය දිනාගැනීමට සමත්විය.

මෙම යුද අභ්‍යාසය අවසානයේ, ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි ශ්‍රී ලංකාවේ සිදුකල සංචාරය සහ මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවැති මෙම යුද අභ්‍යාසයේ අවසන් ප්‍රහාරය දැක බලාගැනීම සඳහා සහභාගී වීම පිළිබඳ කෘතඥතාවය පුද කරමින් මෙවර යුද අභ්‍යාසයේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් නිශාන්ත මානගේ විසින් විශේෂ සමරු තිළිණයක් ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරවාන වෙත ප්‍රදානය කෙරිණි. එමෙන්ම, යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත ද තවත් සමරු තිළිණයක් එහිදි ප්‍රදානය කෙරිණි.

ඉන් පසුව මෙවර යුද අභ්‍යාසය සඳහා සහභාගී වූ භටපිරිස් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදාධිපතිවරුන් මෙම අවස්ථාව සනිටුහන් කරමින් එහිදි ගනු ලැබු සමූහ ඡායාරූපයකට ද එක්වූහ. පසුව, ඉන්දියානු යුද්ධ හමුදා ප්‍රධානි විශේෂ අමුත්තන් සඳහා වු පොතේ සමරු සටහනක් ද තැබීය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වු ඉන්දිය යුද්ධ හමුදා ප්‍රධානි, මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසයේ ප්‍රතිඵලයක් වශයෙන් දෙරටේම හමුදාවන් එක්ව සහයෝගයෙන් යුතුව කටයුතු කිරීමෙන් දෙරට හමුදාවන් අතර පවත්නා මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් වන බව පැවසූවේය. තවද, ‘මිත්‍ර ශක්ති’ යන්නෙහි අදහස ශක්තිය සහ මිත්‍රත්වය බවත් මෙම යුද අභ්‍යාසය තුලින් එම සබඳතාවයන් තවදුරටත් ශක්තිමත් වන බවත් අපගේ අත්දැකීම් හා හමුදා දැනුම හුවමාරු කරගැනීම සඳහා අනාගතයේදීත් මෙවැනි යුද අභ්‍යාසයන් සංවිධානය කිරීමේ හැකියාව පවතින බවත් ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි මාධ්‍ය වෙත අදහස් දක්වමින් තවදුරටත් පැවසීය.

තවද එහිදි මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, දෙරටේම ද්වීපාර්ශ්වික සබඳතාවයන් වර්ධනය කරගැනීම සඳහා මෙවැනි යුද අභ්‍යාස රුකුලක් වන බවත් එකිනෙකාගේ අත්දැකීම් හුවමාරු කරගැනීමෙන් දෙරටේ යුද්ධ හමුදා භටපිරිස් අතර සිය හැකියාවන් සහ කුසලතාවයන් වැඩිදියුණු කරගැනීමට ඉතා වටිනා අවස්ථාවක් එමගින් සැලසෙන බවත් පැවසීය. කොවිඩ් -19 වසංගතය උත්සන්න වූ සමයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලි හා න්‍යෂ්ටික ප්‍රතිචාර රෙජිමේන්තුවේ භටපිරිස් සුවිශේෂි කැපකිරීමක් සිදුකළ බවත් මෙම යුද අභ්‍යාසයේ අවසන් ප්‍රහාරය දැක බලාගැනීම සඳහා මෙන්ම ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු දිනයට ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි සහභාගි වීම සුවීශේෂි කරුණක් බවත් යුද්ධ හමුදාධිපතිතුමන් එහිදි වැඩිදුරටත් පැවසීය.

දෙරට හමුදාවන් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම, අසල්වැසි රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සහ ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා බෙහෙවින් ඉවහල් වන මෙම යුද පුහුණු අභ්‍යාසය සෑම වසරකම ඉන්දියාවේදී හෝ ශ්‍රී ලංකාවේදී පවත්වනු ලබයි.

මෙවර මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය කොවිඩ් - 19 සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්විණි.

අනුග්‍රහය - www.army.lk