ගුවන් හමුදාව නිෂ්පාදනය කරන ලද ඔක්සිජන් චිකිත්සා ඒකක රජයේ රෝහල් වෙත

ඔක්තෝම්බර් 16, 2021

කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකක ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණගේ උපදෙස් පරිදි අම්පාර, බදුල්ල, කළුතර සහ පොල්ගස්ඕවිට යන රජයේ රෝහල් වෙත පසුගියදා බාර දෙන ලදී.
 
‘හීල් ශ්‍රී ලංකා’ ආයතනයේ අශෝක මහතා, නුගේගොඩ ‘සෙත් සදන මෙත් මග සමාජ සත්කාරයේ’ සභාපති රංජිත් තෙන්නකෝන් මහතා, නවීන් ගුණතිලක මහතා සහ ඩබ්ලිව්ආර්එම් පෙරේරා මහත්මිය මේ සඳහා මූල්‍යමය වශයෙන් දායක වී ඇති බව ගුවන් හමුදාව පවසයි.

කටුනායක මුලික කඳවුරු සාමාන්‍ය ඉංජිනේරු පක්ෂාංගය සහ රත්මලාන මුලික කඳවුරු විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු පක්ෂාංගය එක්ව මෙම ප්‍රතිකාර ඒකක නිෂ්පාදනය කර ඇත.

තවද, සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව මෙම භාරදීමේ අවස්ථාවන් සඳහා ගුවන් හමුදා නිලධාරින් සහ සෙසු නිලයින් කිහිප දෙනෙකු සහභාගී වූ බව ගුවන් හමුදාව තහවුරු කළේය.