‘ඉදිරි උපාය මාර්ගික සැලැස්ම 2020 – 2025’ ශක්තිමත් කිරීමේ තවත් එක් පියවරක් ඉදිරියට තබමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා 1 වන බලකාය ඇරඹේ

ඔක්තෝම්බර් 17, 2021

 

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ආරාධනාවකට අනුව මෙම සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අභ්‍යන්තර ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් හා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහභාගී වූහ. ඉන් අනතුරුව, විශේෂ පීඨිකාවේදී එතුමන් වෙත වර්ණවත් ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පුදකළහ.

ඉන් අනතුරුව, “වේගවත්, ජවසම්පන්න, අභිතව” තේමාව පෙරටු කරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා 1 වන බලකායේ වර්ධනය වෙනුවෙන් දායක වන භටපිරිස් වෙත නිල ලාංඡන පැලඳවීම සඳහා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) එක්විය. ඒ සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ විධායක ජෙනරල් මේජර් ජෙනරල් සංජය වණසිංහ ද එක්වූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ වෙත ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) විසින් එම බලකායේ නඟාසිටුවීමේ උපදෙස්, නිල ලාංඡන සහ 1 වන බලකායේ ධජය පිරිනමන ලදී. ඉන් අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් භටපිරිස් අමතනු ලැබීය.

ඉන් අනතුරුව, මෙම උත්සවය වර්ණවත් කරමින් සරඹ සංදර්ශනයක් පැවැත්විණි. පසුව, කිලිනොච්චියේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා 1 වන බලකා මූලස්ථානයේදී ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා 1 වන බලකායේ නිල වෙබ් අඩවිය ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) විසින් සංකේතාත්මකව එළිදැක්වූවේය. අතිගරු ජනාධිපතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ජාතික ප්‍රතිපත්තියට සමගාමීව මෙම බලකාය ස්ථාපිත කරන ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත උපදෙස් ලැබිණි. ඒ වෙනුවෙන් සිය සුභපැතුම් එක්කරමින් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබුවේය. කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා 1 වන බලකා මූලස්ථානයේ භටපිරිස් මෙම උත්සව කටයුතු මාර්ගගත තාක්‍ෂණය ඔස්සේ නැරඹූහ.

මෙම සමාරම්භක උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා 1 වන බලකායේ නව බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත සමරු තිළිණ ප්‍රදානය කරන ලදි.

ඒ අනුව, අනපේක්‍ෂිත තත්ත්වයන් සඳහා ඉදිරිපත් වීමට සහ හදිසි අවස්ථාවන් වලදී සක්‍රීය හමුදා ක්‍රියාකාරීන් ලෙස ක්‍ෂණිකව ක්‍රියාත්මක වී කටයුතු කිරීමට මෙම බලකාය ස්ථාපිත කර ඇත. 53 වන සේනාංකය, 58 වන සේනාංකය, කමාන්ඩෝ බලසේනාව, විශේෂ බලකා බලසේනාව, ගුවන් සංග්‍රාමික බලසේනාව, පාබල බලසේනා සහ තවත් ඒකකයන්හී භටපිරිස් කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා 1 වන බලකායේ ක්‍රියාන්විත කටයුතු වෙනුවෙන් සිය දායකත්වය සපයති.

අතීතයේ සිටම ශ්‍රී ලංකා යුද්ධ හමුදා අතිරේක ප්‍රහාරක බලකාය සහ විශේෂ මෙහෙයුම් බලකායන් ස්වාධීනව පවත්වාගෙන ගියද, එම සියළු බලකායන් සම්බන්ධ කරමින් ඉහළම ගුණාත්මකභාවයෙන් යුතු උපායමාර්ගික සටන්ක්‍රම වලින් සමන්විත එක බලකායක් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා 1 වන බලකාය ස්ථාපිත කර ඇත. එතුලින් ඇතිවිය හැකි ආරක්‍ෂක අභියෝගයන්, ස්වභාවික විපත්, මිනිසුන් විසින් සිදුකරනු ලබන විපත්, වසංගත සහ ත්‍රස්තවාදී තර්ජන මෙන්ම ජාතික හදිසි තත්ත්වයන් වෙනුවෙන් මෙම බලකාය ක්‍රියාකාරිව මැදිහත් වනු ඇත.

යුද්ධ හමුදාව ජාතියේ ආරක්‍ෂාව වෙනුවෙන් ක්‍රියාකාරි බලවේගයක් වශයෙන් විවිධ අවස්ථාවන්හිදී ඕනෑම අභියෝගයක් භාරගැනීමට සූදානම්ව සිටින බැවින් ඕනෑම අවස්ථාවකට අනුවර්තනය වීමේ හැකියාව ඇති බලකායක් පවත්වාගෙන යා යුතු බවත්, ඒකාබද්ධ මෙහෙයුම් සඳහා පෙරමුණ ගැනීමට සංග්‍රාමික කටයුතු සහ සංග්‍රාමික ආධාරක වශයෙන් එම බලකාය ක්‍රියාන්විත කටයුතු වෙනුවෙන් සිය දායකත්වය සපයන බව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 – 2025’ ප්‍රතිපත්තිය තුලින් ප්‍රත්‍යක්‍ෂ වේ.

මෙම සමාරම්භක උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් විකුම් ලියනගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් ද සහභාගී වූහ.

පුවත් අනුග්‍රහය - www.army.lk