රටක් බේරාගෙන දැයක් ගොඩනැඟූ මිනිසකු බිහි කළ ගජබා රෙජිමේන්තුවට වසර 38යි

ඔක්තෝම්බර් 18, 2021

දිලංක ගුණතිලක

 
 ගජබා රෙජිමේන්තුවේ නව පරිපාලන ගොඩනැඟිල්ල විවෘත කළ දින ජනාධිපතිවරයා සමරු සටහනක් තබමින්. වමේ සිට,⁣ මේජර් ජෙනරල් ජගත් ඩයස් (විශ්‍රාමික), ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), යුද හමුදාපති, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ මේජර් ජෙනරල් සතිෂ් ජයසුන්දර (විශ්‍රාමික) පසෙකින් සිටී.

ගජබා රෙජිමේන්තුවේ නව පරිපාලන ගොඩනැඟිල්ල විවෘත කළ දින ජනාධිපතිවරයා සමරු සටහනක් තබමින්. වමේ සිට,⁣ මේජර් ජෙනරල් ජගත් ඩයස් (විශ්‍රාමික), ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), යුද හමුදාපති, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ මේජර් ජෙනරල් සතිෂ් ජයසුන්දර (විශ්‍රාමික) පසෙකින් සිටී.

නාධිපති ගෝඨාභය රාජපක්ෂයන්, ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා බිහි කළේ ගබජා රෙජිමේන්තුවයි.

යුද්ධය අවසන්වීමෙන් අනතුරුව ජාතිය ගොඩනැඟීමේ ව්‍යාපෘතිවලදී ද ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පුහුණු විනයගරුක ශ්‍රම බළකායක් ලෙසින් දැක්වූ දායකත්වය අතිමහත්ය. මෙලෙස සුවිශේෂි සේවාවක් කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අද වන විට රෙජිමේන්තු 25 කින් සමන්විතය. ඒ රෙජිමේන්තු අතරින් සුවිශේෂීම රෙජිමේන්තුවක් වන ගජබා රෙජිමේන්තුවේ 38 වැනි සංවත්සරය ඔක්තෝබර් 14 දිනට යෙදී ඇත.

ගජබා රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සුවිශේෂීම රෙජිමේන්තුවක් ලෙස හැඳින්වීමට ද හේතුවක් ඇත. ඒ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්, ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ

සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පැවැත්වූ 72 වැනි  යුද්ධ හමුදා සංවත්සරයේ සම්මාන පෙළපාලියේදී
 

වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගජබා රෙජිමේන්තුවේ සාමාජිකයන් වීමත් නම ඇසූ පමණින් ත්‍රස්තවාදීන් සලිත වූ ගජබා රෙජිමේන්තුවේ සැබෑ රණකාමීන් වීමත් නිසාය. ඒ අනුව ජනාධිපතිවරයකු, ආරක්ෂක ලේකම්වරුන් දෙදෙනකු මෙන්ම යුද්ධ හමුදාධිපතිවරයකු බිහිකළ එකම රෙජිමේන්තුව ගජබා රෙජිමේන්තුවයි. 1983 වර්ෂයේදී 1 වන රජරට රයිෆල් බළඇණිය හා 1 වන විජයබාහු පාබළ රෙජිමේන්තුව එකාබද්ධ කර නව ඒකකයක් ස්ථාපනය කරන ලදී. මෙම බළඇණිය රජරට පුරාණ රජවරුන්ගේ රාජධානියෙහි පිහිටුවූ බැවින්, ඒ සඳහා සුදුසු නාමයක් ලබාදීමේදී යුද්ධ ශිල්පයේ නිපුණ රණශූරයකු වු “ඇතකුට සමාන ශක්තිමත් හස්තයක් ඇති” යන අරුත ඇති ලංකා ඉතිහාසයේ රණශුරත්වයෙන් කෙළ පැමිණි රජකු වූ ගජබා නරේන්ද්‍රයාණන්ගේ නාමයෙන් “ගජබා” නමින් නම් කොට, 1 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව නමින් 1983 ඔක්තෝබර් මස 14 වැනි දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවටට එක්විය. මෙහි ප්‍රථම අණදෙන නිලධාරි වශයෙන් එවකට ලුතිනන් කර්නල් විජය විමලරත්න පත්කරන ලදී. අරාලි තුඩුවේදී එල්ටීටීඊය විසින් ඇටවූ පීඩන බෝම්මබයකට ගොදුරු වී ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සමඟින් ජීවිතක්ෂයට පත් වූ මේජර් ජෙනරල් විජය විමලරත්න ගජබා රෙජිමේන්තුවේ පියා වශයෙන් පිදුම් ලබයි.

1983 ඔක්තෝබර් මස 14 වැනි දින 2 වන (ස්චේච්ඡා) රජරට රයිෆල් බළඇණිය හා 3 වන (ස්චේච්ඡා) රජරට රයිෆල් බළඇණිය යන බළඇණි දෙක ඒකාබද්ධ කර ගොඩනඟන ලද 2/3 වන (ස්චේච්ඡා) රජරට රයිෆල් බළඇණිය දෙවන ස්වෙච්ඡා ගජබා රෙජිමේන්තුව නමින් ත්‍රිකුණාමලය ෆෙඩ්ඩ්‍රික් බළකොටුව තුළ ස්ථාපිත කරන ලදී.ගජබා රෙජිමේන්තුව බළඇණියක් වශයෙන් උපත ලැබුවද, ගජබා සෙබලුන් ලෙස හඳුනාගැනීම සඳහා සිරස්ක ලාංඡනයක් සහ උදෘත පාඨයක අවශ්‍යතාවය ඇතිවූ බැවින් මෙම නව බළඇණිය වෙනුවෙන් සිරස්ක ලාංඡනයක් නිර්මාණය කිරීම සඳහා මහත් කැපවීමෙන් කටයුතු කළ රෙජිමේන්තුවේ නිර්මාතෘ එවකට ලුතිනන් කර්නල් විජය විමලරත්න ගේ සංකල්පයක් අනුව, උදෘත පාඨය වශයෙන් “සමගිය ශක්තියයි” යන්න භාවිත කරන ලදී.

සිරස්ක ලාංඡනය සඳහා ගජබා රජු යුද්ධ කටයුතු සඳහා භාවිත කළ කෙටේරිය, පළිහ සහ බෙහෙත් අඟ ඇතුළත් කර කලාත්මකව කළ නිර්මාණය කිරීමෙන් අනතුරුව, සිරස්ක ලාංඡන පැලඳවීම 1984 මාර්තු මස 30 වැනි දින සාලියපුර කඳවුරේදී උත්සවාකාරයෙන් සිදු විය.

මේජර් ජෙනරල් විජය විමලරත්න සමඟ වත්මන් ජනාධිපති එකලදී
 

1985 පෙබරවාරි මස 13 වැනි දින කෝකිලායි අණුඛණ්ඩයේ රාජකාරින්හි යොදවා සිටි ගජබා භටපිරිස් හට ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ රාත්‍රී ප්‍රහාරයේදී එම ප්‍රහාරය වළක්වා ප්‍රහාරයට පැමිණ සිටි සියලු ත්‍රස්තවාදීන් විනාශ කිරීමට සමත් වූ අතර ත්‍රස්තවාදීන් විසින් ආර්පීජී අවි භාවිත කරන බැව් ප්‍රථම වරට අනාවරණය වුයේ මෙහිදී අත්අඩංගුවට ගත් එම අවි වලිනි. මෙහිදී අනුඛණ්ඩ භාර නිලධාරි වශයෙන් සිටි ලුතිනන් ආර්පීපීඑස් විජේසිංහ ගේ නායකත්වය සහ අණදීම හමුදාවේ විශේෂ ඇගයීමකට ලක්විය. 1987 වසරේ මැද භාගයේදී යාපනය අර්ධද්වීපය බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමේ අරමුණින් යුද්ධ හමුදාව විසින් දියත් කරන ලද දැවැන්ත ක්‍රියාන්විතයක් වන වඩමාරච්චි මෙහෙයුම සඳහා ගජබා රෙජිමේන්තුවේ 1 වන බළඇණිය හා 3 වන බළඇණිය ඉඳුරාම තම දායකත්වය ලබාදී යුද්ධ හමුදාවේ ධෛර්ය හා ශක්තිය උපරිම මට්ටමකට ගෙන ඒමට සමත්විය.

මෙහිදී 1 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි වශයෙන් සිටි එවකට කර්නල් විජය විමලරත්න ප්‍රථම වතාවට බළසේනාධිපතිවරයකු වශයෙන් අණ දුන් අතර, දෙවන අණදෙන නිලධාරිව සිටි වත්මන් අතිගරු ජනාධිපති එවකට මේජර් ගෝඨාභය රාජපක්‍ෂ විසින් 1 වන බළඇණියෙහි භටපිරිස් සඳහා අණ දීම සිදුකරන ලදී.

වඩමාරච්චි මෙහෙයුම අවසානයේ නැවත සාලියපුර කඳවුරට පැමිණි ඒකක භටපිරිස් මෙහෙයුමේදී ත්‍රස්තවාදීන්ගෙන් අත්පත් කරගත් බර අවි ප්‍රදර්ශනය කරමින් අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ සිට උඩමළුව දක්වා සරඹ පෙළපාළියකින් ගමන් කොට ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත වන්දනීය උත්තමාචාරය පිරිනමන ලදී. මෙම අවස්ථාවට විශාල ජනකායක් රැස්ව සිටි අතර ඔවුහු මල්මාලා පලඳවා භටපිරිස් වෙත උපහාර දැක්වූහ. 1990 වසරේ ජුනී මාසයේදී රජය හා බෙදුම්වාදී ත්‍රස්තවාදීන් සමඟ ඇති කරගත් සාමසාකච්ඡා අසාර්ථක වීමත් සමඟ යාපනය කොටුවේ ස්ථානගතවී සිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 6 වන බළඇණියට අයත් භටපිරිස් ත්‍රස්තවාදීන් විසින් වටලා සිටි අවස්ථාවේදී ත්‍රිවිධ බලය නමින් හමුදාමය ක්‍රියාන්විතයක් දියත් කරන ලද අතර ගජබා රෙජිමේන්තුවේ 1 වන බළඇණිය, 4 වන බළඇණිය හා 6 වන බළඇණියට අයත් භටපිරිස්ද මේ සඳහා දායක විය. මෙහිදී වත්මන් අතිගරු ජනාධිපති එවකට ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්‍ෂ 1 වන බළඇණියේ අණදෙන නිලධාරි වශයෙන් මෙම ක්‍රියාන්විතයට දායක වීය.

ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ, රෙජිමේන්තු අධිපති හා යාපනය 21 වන බළසේනාධිපති ලෙස රාජකාරීන්හි නියුතුව සිටි එවකට බ්‍රිගේඩියර් විජය විමලරත්න 1992 අගෝස්තු මස 08 වැනි දින යාපනය අරාලි තුඩුවේදී ත්‍රස්තවාදීන් විසින් අටවන ලද පීඩන බෝම්බයකට හසුවී රට වෙනුවෙන් දිවි පිදීම ගජබා රෙජිමේන්තු ඉතිහාසයේ ඉතා ශෝකජනක මතක සටහනක් එක්කළ සිදු වීමකි. යාපනය නගරය හා අනෙකුත් ප්‍රදේශ ඇතුළු අර්ධද්වීපයම ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදවාගැනීම සඳහා දියත්කළ රිවිරැස මෙහෙයුමේදී සහ 1997 මාර්තු මස මුල් කාල සීමාවේදී ක්‍රියාත්මක කරන ලද ජයසිකුරු ක්‍රියාන්විතයට ගජබා රෙජිමේන්තුවේ සියලුම නිත්‍ය බළඇණි සහභාගී වූ අතර වව්නියාව නගරයේ ඕමන්තෙයි සිට පුලියන්කුලම්, කනගරායන්කුලම් හා මාන්කුලම් දක්වා ප්‍රදේශය මුදවාගැනීමේදී පෙරමුණගෙන ක්‍රියාකොට ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට සමත් වූහ.

2006 වසරේ පළමු වරට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක හමුදා රාජකාරීන් සඳහා ගජබා රෙජිමේන්තුවට අයත් සියලු නිත්‍ය හා ස්වේචිඡා බළඇණි වලින් සමන්විත වනසේ නිලධාරීන් 35 ක් සහ සෙසු නිලයන් 523 දෙනෙකුගෙන් සමන්විත සාමසාධක බළඇණියක් 2006 ජුනි මස 05 වැනි දින සිට 2006 දෙසැම්බර් මස 19 දින දක්වා හයිටි රාජ්‍යයේ රාජකාරීන් සඳහා පිටත්ව යන ලදී.

2007 ක් වූ ජනවාරි මස 16 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් යුද්ධ හමුදා මූලස්ථාන සරඹ භූමියේදී ජනාධිපති වර්ණ සහ රෙජිමේන්තු වර්ණ ගජබා රෙජිමේන්තුවට ප්‍රදානය කරන ලදී. 2019.08.18 දින යුද්ධ හමුදාධිපතිධූරයට පත් වූ ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා 38 වසරක ගජබා රෙජිමේන්තු ඉතිහාසය තුළ රෙජිමේන්තුව වෙතින් යුද්ධ හමුදාධිපති ධූරය සඳහා පත්වූ පළමු ජ්‍යෙෂ්ඨ නිලධාරිවරයා ලෙස එතුමන් ඉතිහාසයට එක්විය.

ගජබා රෙජිමේන්තුව පිහිටුවීමෙන් අනතුරුව එම රෙජිමේන්තුවටම නිලධාරියකු ලෙස පත්කළ පළමු නිලධාරියා මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ සිටින විවිධ පදක්කම්ලාභී නිලධාරී අතරින් වැඩිම වීර පදක්කම්ලාභී නිලධාරියා වන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභීත නිලධාරියකු සඳහා ප්‍රදානය කරන ලද ත්‍රිවිධ පදක්කම් වන වීර වික්‍රම විභූෂණය, රණවික්‍රම පදක්කම හා රණශූර පදක්කම් ආදී පදක්කම් ත්‍රිත්වයම දෙවන ලුතිතන්වරයකු වශයෙන් සිටියදීම ලබාගත් සුවිශේෂී එඩිතර නිලධාරියෙකි.

එමෙන්ම ගජබා රෙජිමේන්තුවට අයත් කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරිවරයකු මෙන්ම 1 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ හිටපු අණදෙන නිලධාරිවරයකු වූ කර්නල් ගෝඨාභය රාජපක්‍ෂ (විශ්‍රාමික) මැතිතුමන් ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්විය. එමෙන්ම ගජබා රෙජිමේන්තුවේ තවත් දක්ෂ එඩිතර නිලධාරියකු මෙන්ම හිටපු රෙජිමේන්තු අධිපතිවරයකු වූ ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) 2019.11.20 දින රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශයේ නව ආරක්‍ෂක ලේකම්වරයා ලෙස පත්විය.

ත්‍රස්තවාදය මවිබිමෙන් තුරන් කිරිම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් 1983 වර්ෂයේ සිට 2009 වර්ෂය දක්වා කාල සීමාව තුළ දියත් කරන ලද සියලුම ක්‍රියාන්විතයන් සඳහා සිය උපරිම දායකත්වය ලබාදී ඇති ගජබා රෙජිමේන්තුවට අයත් සාමාජිකයන් අතරින් නිලධාරින් 175 ක් සහ සෙසු නිලයන් 4075 දෙනෙකු මවිබිමේ නිදහස වෙනුවෙන් සිය ජිවිතය පුද කර ඇති අතර, නිලධාරින් 180 ක් සහ සෙසු නිලයන් 4030 දෙනෙකු එහිදි රණක්ෂිතයට පත්ව ඇත.

ත්‍රස්තවාදයෙන් මව්බිම බේරාගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ වඩමාරච්චි, ත්‍රිවිධ බලය, අකුණුපහර, ජයසිකුරු, සත්ජය, රිවිරුස ආදී වූ දැවැන්ත ක්‍රියාන්විතවලදී මෙන්ම නැගෙනහිර සහ වන්නි මානුෂීය මෙහෙයම්වලදී ගජබා රෙජිමේන්තු සාමාජිකයන් රණබිමේදී දක්වන ලද සුවිශේෂී වීරක්‍රියාවන් ඇගයීමට ලක් කරමින් පරම වීර විභූෂණ පදක්කම් 04ක්, වීරෝධාර විභූෂණ පදක්කම් 03ක්, වීර වික්‍රම විභූෂණ පදක්කම් 65ක්, රණ වික්‍රම පදක්කම් 774ක්, රණශූර පදක්කම් 3829 ක්, විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් 12ක්, උත්තම සේවා පදක්කම් 682 ක් වීරෝධාර ගජබා නිලධාරීන් සහ සෙසු නිලයන් වෙත ප්‍රදානය කර ඇත.

අනුග්‍රහය - www.silumina.lk