ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ නියෝජිතයින් ආරක්‍ෂක ලේකම් හමුවේ

ඔක්තෝම්බර් 18, 2021

මේජර් ජෙනරල් හරි බී පිල්ලේගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ නියෝජිතයින් පිරිසක් අද (ඔක්තෝම්බර් 18) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශ සංකීර්ණයේදී ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) හමුවූහ.

උණුසුම් පිළිගැනීමකින් අනතුරුව මේජර් ජෙනරල් පිල්ලේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් විකාශ් සූඩ් ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් සමඟ සුහද සාකච්ඡාවක් පැවැත්වීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ සේනාවිධායක මේජර් ජෙනරල් අමල් කරුණාසේකර ද සහභාගී විය.

මේ අතර, ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර, ඉන්දීය නියෝජිත කණ්ඩායම සමඟ අධ්‍යයන සංවාදයක නිරත වූ අතර, අනතුරුව ප්‍රශ්න හා පිළිතුරු සැසියක් පැවැත්විණි.

හමුදා සම්බන්ධතා නිලධාරී විසින් මෙහෙයවනු ලැබූ මෙම සැසිවාරයේදී ආරක්‍ෂාව හා සම්බන්ධ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීමේ සාකච්ඡා සිදුකෙරිණි.

ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, ඉරානය, ජපානය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ පාඨමාලාව හදාරන සිවිල් මාණ්ඩලික නිලධාරීන්ද අධ්‍යයන සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ නියෝජිත කණ්ඩායමට ඇතුළත් වූහ.  

මෙම වැඩසටහන අවසානයේදී සංචාරය සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.