නබි නායක දින පණිවිඩය

ඔක්තෝම්බර් 19, 2021

පණිවිඩය

සියලු දෙනාට විශ්වාස කළ හැකි පුද්ගලයෙක් වීම සඳහා අවශ්‍ය වනුයේ කරුණාව සහ අවංකභාවය යැයි ලෝකයට පෙන්වා දුන් මුහම්මද් නබිතුමාගේ ජන්ම දිනය අදට යෙදී ඇත.

ඕනෑම සමාජයක වෙසෙන මිනිස් වර්ගයාගේ චින්තනය සහ චර්යාවේ පදනම බවට පත් වී තිබෙන්නේ ඔවුන් විසින් විශ්වාස කර පිළිගත් ගැඹුරු දහමය.

අවංක මිනිසුන් ඉදිරිපිට දෙවියන් නිරාවරණය වන අතර, එබඳු පුද්ගලයන් දෙවියන් විසින් සුදුසු, උස් ස්ථාන කරා ඔසවා තබන බව මුහම්මද් නබිතුමාගේ ජීවිතය සහ දර්ශනය පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් අවබෝධ කර ගත හැකිය.

ශ්‍රී ලාංකේය සහ ලෝක ඉස්ලාම් බැතිමතුන්ගේ මහත් ගෞරවාදරයට පත් මුහම්මද් නබි නායකතුමාගේ දර්ශනය තවදුරටත් සමාජගත කොට සහජීවනය ඇති කිරීම ඉස්ලාමීය බැතිමතුන් එතුමාට දක්වන විශේෂ ගෞරවයක් ලෙස මම දකිමි.

එතුමාගේ ජීවිතය පුරා පවත්වාගෙන ගිය මානුෂීය දර්ශනය අන්කවරදාටත් වඩා අද සමාජ සුභසිද්ධියට යොදා ගැනීම කාලෝචිතය.

අදටත් ලෝක ජනතා ගෞරවයට පාත්‍රවී සිටින නබිතුමාගේ ජීවිතාදර්ශයන්ට ගරු කරන ශ්‍රී ලාංකික ඉස්ලාමීය බැතිමතුන් ඇතුළු ජගත් ඉස්ලාම් ජනතාවගේ ජීවිත ආලෝකවත් වී, සියලූ දෙනාට සෞභාග්‍යය උදා වේවා ... යි ප්‍රාර්ථනා කරමි.

ගෝඨාභය රාජපක්ෂ
2021 ඔක්තෝබර් මස 19 වන දින  

අනුග්‍රහය - www.president.gov.lk