වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඕස්ට්‍රේලියානු නියෝජිත කණ්ඩායමක් සමඟ සාකච්ඡාවක

ඔක්තෝම්බර් 22, 2021

ඕස්ට්‍රේලියානු දේශසීමා බලකා පළමු ලේකම්, පරීක්‍ෂක බ්‍රෙට් ෂෙන්ඩර් සහ එහි සම්බන්ධීකාරක ශෂිකා පෙරේරා මහත්මිය ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් පසුගියදා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් අනුර ඒකනායක මහතා හමුවිය.

මෙම සාකච්ඡාවේදී, පුහුණු ආධාර හුවමාරු කර ගැනීම පිළිබඳව මූලික වශයෙන් අවධානය යොමු වූ බව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

කොවිඩ් - 19 වසංගතයත් සමග නව සාමාන්‍යකරණය යටතේ ඉදිරි පුහුණුවීම් පැවැත්වීමේ හැකියාව පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කර ගන්නා ලද අතර දෙපාර්ශවයම අතීත අන්තර් ක්‍රියාකාරිත්වය සහ පුහුණුව නැවත ස්ථාපිත කිරීමට එකඟතාව පළ කළ බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ හැකියාවන් සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඕස්ට්‍රේලියානු රජය සහ දේශසීමා බලකාය විසින් ලබා දී ඇති දිගු කාලීන පුහුණු සහය පිළිබඳව අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ඒකනායක මෙහිදී සිය ස්තූතිය පළ කළේය.

මෙම සංචාරය සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකල බව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.