මුලතිව්හි පවුල් හතරකට යුද හමුදාවෙන් නව නිවාස

ඔක්තෝම්බර් 22, 2021

ශ්‍රී ලංකා යුද හමුදා මුලතිව් ආරක්‍ෂක සේනාවට අයත් භට පිරිස් විසින් නව නිවාස 4 ක් ඉදිකර ප්‍රදේශයේ දිළිඳු පවුල් වෙත ලබා දෙන ලදී.

ඒ අනුව, මන්නකන්ඩාල් කිරණමඩු හි රාමචන්ද්‍රන් මදිවාදිනී, මාන්කුලම්හි විග්නේෂ්වරන්, ඔඩ්ඩුසුඩාන්හි චන්ද්‍ර කුමාර් සහ මුතියන්කඩ්ඩුකුලමම්හි රසාතිරාම් රාජේශ්වරී යන අයගේ පවුල් සඳහා ගෘහ භාණ්ඩ සහිත නිවාස 4 ක් ලබා දී ඇති බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

දකුණේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇතුළු දානපතින්ගේ මූල්‍ය අනුග්‍රහයෙන් 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බල මුළුව යන ඒකකයන්ගේ තාක්‍ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් මෙම නිවාස ව්‍යාපෘතිය සාර්ථකව සිදු කරන ලදී.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සිසිර පිලපිටියගේ උපදෙස් පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති අතර එතුමන් නිවාස භාරදීමේ අවස්ථා සඳහා ද සහභාගී වූ බව යුද හමුදාව පැවසීය.