පොපි මල් දින සැමරුමේ පළමු පොපි මල ජනාධිපතිට

ඔක්තෝම්බර් 26, 2021

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂිකව සංවිධානය කරන සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි මල් දින සැමරුමේ පළමු පොපි මල එම සංගමයේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා මහතා විසින් අද (26) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පලඳන ලදි.

ශ්‍රී ලංකාවේ පොපි සැමරුම වර්ෂ 1944දී ආරම්භ කොට ඇති අතර මෙවර පොපි මල් සැමරුම සිදුකරන්නේ 77 වන වරටය. පොපි මල් අලෙවියෙන් ලැබෙන ආදායම විශ්‍රාමික හා ආබාධිත රණවිරුවන්ගේ සුභසාධනය සඳහා වෙන් කෙරේ.

පළමුවන හා දෙවන ලෝක යුද්ධයේදී මෙන්ම පසුගිය තිස් වසරක් පුරා ශ්‍රී ලංකාවේ පැවති අභ්‍යන්තර යුද ගැටුම්වලදී ජීවිතය පූජා කළ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් 2021 පොපි සැමරුම නොවැම්බර් මස 14 වන දින පෙරවරුවේ විහාර මහා දේවී උද්‍යානයේ ලෝක යුද විරු අනුස්මරණ ස්මාරකය අබියසදී පැවැත්වීමට නියමිතය. සෑම වසරකම නොවැම්බර් මස 11 වෙනි දා ලෝකයේ බොහෝ රටවල් පොපි සැමරුම සිදුකරන අතර, ශ්‍රී ලංකාවේ ද නොවැම්බර් මස 11ට ආසන්න ඉරු දිනක මෙම සැමරුම පවත්වයි.

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මහ ලේකම් ලුතිතන් කර්නල් අජිත් සියඹලාපිටිය, භාණ්ඩාගාරික මේජර් ශාන්තිලාල් කංකානම්ගේ, අනුස්මරණ කමිටු සභාපති ලුතිතන් කර්නල් ඒ. දීපාල් සුබසිංහ යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.