ශ්‍රී ලංකා නාවික හමුදාවේ 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බළඝනය ජනපති විසින් අධිකාරියට පත් කෙරේ

ජුනි 23, 2019

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බළඝනය අද (ජූනි 22) දින “4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමුහය’’ ලෙස අධිකාරියට පත් කීරීම ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේදී සිදුකරන ලදී. මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතාද සහභාගී විය.

ත්‍රිකුණාමල නාවික හමුදා තටාංගනයට පැමිණි ජනාධිපතිවරයා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් මහත් හරසරින් පිළිගන්නා ලදී.

අධිකාරියට පත්කිරීමට සමගාමීව 4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමූහය වෙත ජනාධිපති වර්ණ පිළිගන්වන ලද අතර එය හමුදා ආයතනයකට පිරිනැමිය හැකි උසස්ම ගෞරවයයි.

නාවික හමුදාවේ ප්‍රධානතම ප්‍රහාරක බළඝනය වන 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බළඝනය ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ බලය තහවුරු කිරීම සඳහා ඉක්මන් හා වේගවත් වේග ප්‍රහාරක යාත්‍රා භාවිතා කරමින් පසුගිය ත්‍රස්තවාදී යුධ සමයේ මුහුදු කොටි තර්ජන මැඩපැවැත්වීම උදෙසා විශාල කාර්ය භාරයක් ඉටුකරන ලදී.

මෙම අවස්ථාවට සර්ව ආගමික නායකයින්, උතුරු පළාත් ආණ්ඩුකාරවරයා, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් සහ නාවික භටයින් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.