කොවිඩ් - 19 වෛරසය හමුවේ ඉදිරි පෙළ සාමාජිකයින්ට තවත් එන්නත් මාත්‍රාවක් ලබාදීම කොළඹ යුද්ධ හමුදා රෝහලේදී ඇරඹේ

නොවැම්බර් 02, 2021

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය මත ත්‍රිවිධ හමුදා සාමාජිකයින් විසින් මෙහෙයවනු ලබන ජාතික එන්නත්කරණ වැඩසටහනේ තවත් එක් පියවරක් ඉදිරියට තබමින් කොවිඩ් - 19 වෛරසය දිවයින පුරා ව්‍යාප්තවීම වැළැක්වීමේ කාර්යභාරයේ ඉදිරිපෙළ සාමාජිකයින් ලෙස කටයුතු කරනු ලබන ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, පොලිස් නිලධාරීන්, සෞඛ්‍ය නිලධාරින් හා සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයින් ඇතුළු ඉදිරිපෙළ සාමාජිකයින් සඳහා තෙවන‍ මාත්‍රාව ලබාදීම සඳුදා (01) දින ආරම්භ කරන ලදී.

කොවිඩ් - 19 වෛරසය හමුවේ ඉදිරි පෙළ සාමාජිකයින්ට තෙවන මාත්‍රාව ලබාදීමේ වැඩසටහන අද (01) දින කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් කොළඹ යුද්ධ හමුදා රෝහලේදී ආරම්භ කෙරිණි.

කොවිඩ් - 19 වෛරසය හමුවේ ඉදිරිපෙළ සාමාජිකයින්ට තෙවන මාත්‍රාව ලබාදීමට කටයුතු කරන බවත් සංචාරක ක්‍ෂත්‍රයේ, ගුවන් තොටුපල සේවකයින් ඇතුළු අනෙකුත් තෝරාගත් අංශ වෙත ප්‍රමුඛත්වයක් ලබාදෙන බවත් එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

එන්නත් මාත්‍රාවන් දෙකම ලබාගත් පුද්ගලයින්ට, දෙවන මාත්‍රාව ලබාගෙන මාස 6 කින් පසුව තෙවන මාත්‍රාව ලබාගැනීමේ හැකියාව පවතින බවත් දිවයින පුරා පනවා තිබූ සංචාරණ සීමාවන් ලිහිල් කර ඇති නමුත් දිනකට වාර්ථා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව තවදුරටත් 500 – 600 ත් අතර වන බවත් මේ වනවිට පුද්ගලයින් 14,000 කට ආසන්න පිරිසක් නිරෝධායන කටයුතුවල නිරතව සිටින බවත් යුද්ධ හමුදාධිපතිතුමන් එහිදී වැඩිදුරටත් පැවසීය.

යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු, වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් නිශාන්ත පතිරණ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් මෙම එන්නත්කරණ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එන්නත්කරණ ස්ථානය වෙත කැටුව යන ලදී. ඉන් අනතුරුව, මෙම එන්නත්කරණ වැඩසටහන සංකේතාත්මකව ආරම්භ කෙරිණි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් ප්‍රකාශ කර ඇති පරිදි, ඉදිරිපෙල සාමාජිකයින්ට, වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින්ට සහ වයස අවුරුදු 20 ට වැඩි පුද්ගලයින්ට ෆයිසර් එන්නත ලබාදීමට නියමිතය.

අනුග්‍රහය - www.army.lk