logo

රණවිරු දෑතින් සරුවන මව්බිම

නොවැම්බර් 07, 2021

සකුන්තලා ජයවර්ධන

“ගමයි පන්සලයි වැවයි දාගැබයි” සංස්කෘතියටත් පෙර වසර දෙදහස් පන්සියයකටත් එහා දිව යන කෘෂි ආර්ථික රටාවකට උරුමකම් කියන ශ්‍රී ලංකාව අදටත් ඉවතලන දණ්ඩ පවා පැළ වෙන සශ්‍රීක ක්ෂේම භූමියකි. කෘෂි කර්මාන්තය මත පදනම් වූ ස්වයංපෝෂිත ආර්ථිකයක ශ්‍රී විභූතියෙන් ස්වාධීනව ගොඩනැඟුණු ශ්‍රී ලංකාව විවෘත ආර්ථිකයත් සමඟ නව මානයකට ගමන් කළේය. ඒ ඔස්සේ අවශ්‍ය අනවශ්‍ය සියලු දේ අසීමිතව රටට ගලා ආවේය. දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික හා තාක්ෂණික වශයෙන් දේශීයව මෙන්ම ගෝලීයව සිදුවූ බලපෑම් මතින් බිහිවුණ නව මිශ්‍ර ආර්ථික රටාව තුළ දේශීය ස්ව්‍යංපෝෂිත ආර්ථිකය දිය වී යන්නට විය. එසේම මිනිසාගේ කෘත්‍රිම මැදිහත්වීම තුළ අසමතුලිත වූ ලෝක ආර්ථික රටාවේ අයහපත් ප්‍රතිඵලයක් ලෙස නුදුරේම ආහාර අර්බුදයක් පිළිබඳ විද්වතුන් අනාවැකි පළ කරමින් සිටි.

එවන් පසුබිමක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් රට හදන සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් දේශීය කෘෂි නිෂ්පාදනවලින් රට ස්වයංපෝෂිත කිරීම හා ඒ සඳහා ස්ථාවර නව ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම අවධාරණය කරයි. එසේම වස විසෙන් තොර ආරක්ෂිත ආහාර සඳහා ජනතාවට ඇති අයිතිය සුරක්ෂිත කිරීම සඳහා කාබනික පොහොර ප්‍රවර්ධනය කිරීම ද ආරම්භ කර ඇත.

එම ප්‍රතිපත්තිය අනුව යමින් නිවහල් ආර්ථිකයක් සහිත සෞභාග්‍යවත් දේශයක් ඇති කිරීමේ අරමුණ යථාර්ථයක් බවට පත් කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව මහඟු මෙහෙවරක් ඉටු කරමින් සිටියි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයක් මත “තුරු මිතුරු-නව රටක්'' ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ජයවර්ධනපුර හමුදා මූලස්ථානය අසල අක්කර 12 ක භූමි ප්‍රමාණයකින් යුත් පුරන් කුඹුරු අස්වද්දනු ලබන්නේ එහි පළමු අදියර වශයෙනි.

ඉන් නොනැවතී රටේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම හා දේශීය ආහාරවලින් ස්වයංපෝෂිත කිරීම මෙන්ම හදිසි ආපදා අවස්ථාවලදී ආහාර අවශ්‍යතා සඳහා යුද හමුදාවේ දායකත්වය ලබාදීම අරමුණු කර ගනිමින් 2021 ජනවාරි 07 වැනි දින යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය ආරම්භ කරනු ලැබේ. එය බලඇණි 5 කින් යුක්ත වන අතර, එක් බලඇණියක් නිලධාරින් 28 දෙනෙකුගෙන් හා සෙසු නිලයන් 725 දෙනෙකුගෙන් සමන්විත වේ. මෙම බළකාය පිහිටුවීම මගින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂ මණ්ඩලය තවදුරටත් ශක්තිමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ හිස් ඉඩම් රාශියක් ප්‍රයෝජනයට ගෙන දිවයින පුරා මහා පරිමාණ කෘෂි ව්‍යාපෘති රැසක් ආරම්භ කර ඇත. කන්දකාඩු, මැණික්ෆාම්, වෙල්ලම්කුලම්, ගල්කන්ද, පලටුපාන, අඩියාපුලියන්කුලම්,බලල්ල සහ නිරාවිය, කොහිලවගුරවත්ත, අරලගංවිල, යුද හමුදා මූලස්ථාන ආශ්‍රිත භූමිය යන ප්‍රදේශයන්හි මෙම යුද්ධ හමුදා ගොවිපළවල් ස්ථාපිත කර තිබේ. 2020 -2025 කාලය තුළ අක්කර 2000 කජු වගා ව්‍යාපෘතිය, පොල් අක්කර 1000ක්, අඹ අක්කර 500 ක්. කහ පැළ ලක්ෂයක්, පේර, මිරිස්, බඩඉරිගු, ධාන්‍ය, එළවළු ආදිය වගා කිරීමට ඉලක්ක කොට තිබෙන අතර කාබනික පොහොර නිෂ්පාදනයට ද යොමු වී ඇත.

යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය පිහිටුවා වසරකට ආසන්න කලක් ගත වී ඇති මොහොතක වගා කටයුතු පිළිබඳ තොරතුරු සොයා බැලීම සඳහා පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ආඩියාපුලියන්කුලම, මැණික්ෆාම් ප්‍රදේශයේ මාධ්‍ය නිරික්ෂණ චාරිකාවක් සංවිධානය කරන ලදී.

එහිදී තිස් වසරක යුද්ධයෙන් රට බේරා ගත් විරෝධාර රණවිරුවන් ඉදිරියේ මුහුණ දිය හැකි ආහාර අර්බුදයෙන් මිදීම සඳහා ගොවි බිම් අස්වද්දමින් සිටින ආකාරය අපට දැක ගන්නට ලැබුණි. එදා යුද්ධයෙන් අවතැන් වී සිටි ජනයා සඳහා හමුදාව විසින් සරණාගත කඳවුරු ඉදි කර තිබූ මෙම ආඩියන්පුලියන්කුලම් සහ මැණික්ෆාම් ප්‍රදේශ අද රණවිරු දෑතින් ජනතාවට බත සපයන සශ්‍රික කෙත් බිම් බවට පත් වෙමින් තිබේ. මෙම ගොවිපලෙහි මුළු භූමි ප්‍රමාණය අක්කර 6000කි. එහි පොල්, අඹ, මිරිස්, දොඩම්, මඤඤෝක්කා, ධාන්‍ය, එළවළු ඇතුළු බෝග රාශියක් මහා පරිමාණයෙන් වගා කර ඇත.

ශ්‍රී ලංකාවේ දැනට ඇති මහා පරිමාණ මිරිස් ගොවිපොළ මෙම ආඩියන්කුලම් මිරිස් ගොවිපළයි. අක්කර 200කින් යුත් මිරිස් වගා ව්‍යාපෘතිය යටතේ අක්කර 50 ක යටි වගාවක් ලෙස මිරිස් වගා කොට ඇත.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ එක්ව ශ්‍රී ලංකා යුද හමුදා කෘෂිකර්ම බලඇණිය මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. මිරිස් ප්‍රභේද දෙකක් මෙහි වගා කර තිබේ. ඒ MICHY1 හයිබ්‍රිඩ් වර්ගයේ දෙමුහුන් මිරිස් වර්ගය හා ගල්කිරියාගම ප්‍රභේදයි.

පළමු වතාවට මිරිස් කිලෝ 45,000ක අස්වැන්නක් මෙමඟින් ලබා ගෙන ඇති අතර එයින් කිලෝ 7500ක් වියළි මිරිස් බවට පත් කර ගැනීමට හැකි වී තිබේ. එම වියළි මිරිස් කුළු බඩු මණ්ඩලයට අලෙවි කරන අතර කුළු බඩු මණ්ඩලය සහනදායි මිලකට ජනතාවට මෙම වියළි මිරිස් ලබා දේ. එළිමහනේද මිරිස් වේළා ගැනීමට අමතරව ලංකාවේ ප්‍රථම වරට සූර්ය බල වියළන ගෘහ භාවිතා කිරීම ද ආරම්භ කර ඇත.

යුද හමුදා කෘෂිකර්ම බළකාය විසින් අක්කර 1000ක භූමි ප්‍රමාණයක පොල් ගස් 64,000ක් වගා කිරීම ආරම්භ කර ඇති අතර ඉන් අක්කර 350 ක පොල් පැළ 30,000ක් මේ වන විටත් වගා කර තිබේ. ආඩියාපුළයන්කුලම අක්කර 100 ක් ද ඊට ඇතුළත් වේ. ඉදිරියේදී හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ සහය ඇතිව වියළි කලාපයට අයත් කන්දකාඩු ගොවිපළේ අක්කර 100ක හුදෙකලා පොල් උයනක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

අක්කර 500කින් යුත් TEJC අඹ ව්‍යාපෘතිය අඹ පැළ 40,000ක් මේ වන විට වගා කර ඇති අතර ඒය 60,000ක් දක්වා වර්ධනය කිරීමට බලාපොරොත්තු වේ.ඒ අනුව මෙහි අක්කර 50ක් දැනටමත් වගා කර අවසන් ය.

මීට අමතරව මෙම භූමිය තුළම මුරුංගා පැළ 20,000ක්, දොඩම් පැළ 20,000ක් වගා කර තිබෙනවා. දෙහි වගාව අලි වැට සඳහා ස්වභාවික කටු බාධකයක් ලෙස යොදා ගෙන ඇත. එසේම යටි වගා ලෙස මුං, කන්කුන්, එළවළු වැනි භෝග වගා කොට ඇත. ආඩියන්කුලමෙ අක්කර 30ක භූමි ප්‍රමාණයක බඩ ඉරිගු වගා කර ඇති අතර ඒවා ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ සත්ත්ව ආහාරයක් ලෙසයි.

අද වන විට සත්ත්ව ආහාරවල මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර යුද හමුදා සත්ත්ව ගොවිපළ සඳහා අවශ්‍ය සත්ත්ව ආහාර නිපදවීම සඳහා මෙම බඩ ඉරිගු වගා කර තිබේ. කහ වගාව මගින් කිලෝ 6000ක අස්වැන්නක් ලබා ඇති අතර කහ බීජ අවශ්‍ය ගොවීන්ට එම කහ බීජ ලබාදිමට ද පියවර ගෙන ඇත.

මීට අමතරව දේශීය සහල් නිෂ්පාදන වැඩසටහනක්ද ක්‍රියාත්මක වේ. කාබනික පොහොර භාවිත කරමින් සුවඳැල්, කළු හීනටි වැනි දේශීය ප්‍රභේද යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කරමින් වගා කරයි. යුද හමුදාවේ පරිභෝජනයට මෙන්ම කඳවුරු අවට අඩු ආදායම්ලාභී පවුල්වලට සහන මිලට ආහාර ලබා දේ.

කාබනික පොහොර ප්‍රවර්ධන ජාතික ප්‍රතිපත්තියට උර දෙමින් කාබනික පොහොර මෙට්‍රික් ටොක් ලක්ෂ හතරක ඉලක්කයක් හඹා යන ව්‍යාපෘතිය තුළ මෙම වගා බිමෙහි පමණක් දැනට කබනික ‍ පොහොර මෙට්‍රික් ටොන්1000 නිෂ්පාදනය කර ඇත. ඊට අමතරව දියර පොහොර නිෂ්පාදනය ද ආරම්භ කර ඇත. පොහොර මෙට්‍රික් ටොන් 25000 ක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති අතර මහ කන්නය සඳහා ජාතික කාබනික පොහොර අවශ්‍යතාව සපුරාලීම එහි අපේක්ෂාවයි.

අක්කර 150ක් පුරා විහිදුණු නිරාවිය යුද හමුදා ගොවිපළ හි කුකුල් ගොවිපළවල් කිහිපයක්ද දක්නට ලැබේ. දිනකට බිත්තර 5000 ක් පමණ ලබා ගන්නා අතර එම බිත්තර යුද හමුදා සෙබළුන්ගේ දෛනික පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා භාවිතයට ගනී. ගවපාලනය මෙන්ම ලේයර් සතුන් 10000කින් යුත් බිත්තර නිෂ්පාදන‍ය කිරීම ඉදිරි ඉලක්කයන්ය.

කෘෂි සම්පත් මධ්‍යස්ථාන පිහිටුවීම, ශීතාගාර පහසුකම් ඇති කිරීම, මිරිදිය මත්ස්‍ය ව්‍යාපාරය දියුණු කිරීම සහ ත්‍රිවිධ හමුදා කෘෂිකර්ම පර්යේෂණ සංවර්ධන මධ්‍යස්ථානයක් පිහිටුවීම වැනි දෑ ඉදිරියේදී ඇතිකිරිමට සැලසුම් කර ඇති බව යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් ශිරාන් වැලිගම පැවසීය.

 

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ මඟ පෙන්වීම මත 2020-2025 ඉලක්ක ගත වගා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතින අතර මෙම වගා බිම්වල අස්වැන්න හා පශු නිෂ්පාදන මූලිකව ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රයෝජනයට ද අමතරව සහන මිලට ජනතාවට ලබාදීමට මෙන්ම ඉදිරියේදී අඹ වැනි පළතුරු බෝග අපනයනයට ද අපේක්ෂා කරන බව යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අරෝෂ රාජපක්ෂ පැවසීය.

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාව ආරම්භ කර ඇති මහා පරිමාණ කෘෂි වගා හා සත්ත්ව නිෂ්පාදන අපේක්ෂිත ඉලක්ක කරා ක්‍රමිකව ළඟාවෙමින් පවතින අතර ඉදිරියේදී මුහුණදීමට සිදුවන ආහාර අර්බුදය ජය ගැනීමට, විදේශ විනිමය ඉපැයීමට මෙන්ම කාබනික පොහොර නිෂ්පාදනය මගින් වස විසෙන් තොර ආහාර රටාවක් ඇති කර ගැනීමේ ජාතික කර්තව්‍යයට ද එය මහත් දායකත්වයක් ලබා දෙනු ඇත.

ඡායාරූප - සමන්ත වීරසිරි

Courtesy - www.silumina.lk