ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් රාජ්‍ය පරිපාලනය සඳහා නව නිපැයුම් මාලාවක්

නොවැම්බර් 08, 2021

ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් මෙහෙයවනු ලබන නව්‍ය නිෂ්පාදන පෙළක් ආරක්‍ෂක ලේකම් සහ ජාතික ආරක්‍ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ මඟපෙන්වීම යටතේ හමුදාවන්ට සහ අදාළ රාජ්‍ය දෙපාර්තමේන්තු වෙත නොවැ 08 දින පිටිපන පිහිටි එහි ප්‍රධාන කාර්යාලයේදී භාර දෙන ලදි.

මෙහිදී ශ්‍රී ලංකා යුද හමුදාව වෙත ඩිජිටල් ජංගම ගුවන් විදුලි, විශේෂ මෙහෙයුම් සඳහා ජීපීඑස් ලුහුබැඳීමේ උපාංග, කැලෑ මංතීරු වෙඩි තැබීම සඳහා ස්මාර්ට් ඉලක්ක පද්ධති, සන්නද්ධ පිරිස් වාහක සිමියුලේටර, 81 මිමී මෝටාර් සිමියුලේටරය, වාහන සිමියුලේටරය සහ අධි තාක්‍ෂණික සොල්දාදුවන්ගේ ව්‍යාපෘතිය යන නව නිපැයුම්  භාර දෙන ලදි.

යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් එම ව්‍යාපෘති නිල වශයෙන් එදින ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ජෙනරල් ගුණරත්න වෙතින් ලබාගන්නා ලදි. මේ අතර, ඩිජිටල් ජංගම ගුවන් විදුලි ඒකක 10 බැගින් ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මෙහිදී භාර දෙන ලදි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ රණවිරු සෙවණේ ඩී.ඩබ්ලිව්.එම්.කේ ප්‍රනාන්දු විරුවා වෙත විද්‍යුත් කෘත්‍රිම පාදයක් ප්‍රදානය කරන ලද අතර, අලි ඇතුන්ගේ ආක්‍රමණ සහ ප්‍රහාර මැඩලීමේ ව්‍යාපෘතිය යටතේ නිපදවන ලද වන අලි පලවා හැරීම සඳහා වන අතින් ගෙන යා හැකි උපකරණ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලදි.

ජාතික ශිෂ්‍යභට බළකා නිලධාරීන්ගේ දත්ත ගබඩාවක් ද ජාතික ශිෂ්‍යභට බළකාය වෙත මෙම අවස්ථවේදී ප්‍රදානය කරන ලදි.

ලේඛන කළමනාකරණ පද්ධතිය, ඉඩම් අත්පත් කර ගැනීමේ සහ කළමනාකරණ පද්ධතිය, ඩ්‍රෝන ජෑමර් සහ ජංගම දුරකථන ද වැඩසටහන යටතේ ප්‍රදර්ශනය කෙරිණි.

ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අංශ ප්‍රධානීන් විසින් සොයාගැනීම් සහ එහි අනාගත සැලසුම් පිළිබඳව ලේකම්වරයා දැනුවත් කරන ලදි.

මේජර් ජෙනරල් රේණුක රොවෙල් (විශ්‍රාමික) ගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වන මෙම ආයතනය ජාතික ආරක්‍ෂාව සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන රටට අවශ්‍ය පිරිවැය ඵලදායි නව්‍ය විසඳුම් ලබාදීමේ ප්‍රමුඛතම පර්යේෂණ ආයතනයක් වන අතර, එය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක හා නාගරික සංවර්ධන ලේකම්වරයාව සිටියදී ඔහු විසින් නිර්මාණය කරන ලද්දකි.

ලෝක මට්ටමේ විද්‍යා හා තාක්‍ෂණ පදනමක් ස්ථාපිත කිරීමේ දැක්මක් ඇතිව ජාත්‍යන්තර වශයෙන් තරඟකාරී පද්ධති සහ විසඳුම් හරහා හමුදාවන් ශක්තිමත් කරමින් ස්ථාපනය කරන ලද මෙම ආයතනය රටේ අනාගතයට සුදුසු ආරක්‍ෂක නිෂ්පාදන සංවර්ධනය කිරීම සහ බෙදාහැරීම කෙරෙහි අවධානය යොමු කරනු ලැබේ.

මෙම විශේෂ අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් විසින් ආරක්‍ෂක ලේකම්වරයා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදි.

යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයි.එන්.ජයරත්න, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්න පායෝ, ආරක්‍ෂක අමාත්‍යාංශයේ  සහ ජාතික ආරක්‍ෂාව හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ ජාතික ශිෂ්‍යභට බළකායේ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.