කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහලට පිළිකා ප්‍රතිකාර සඳහා HIPEC යන්ත්‍රයක්

නොවැම්බර් 08, 2021

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහල වෙත රුපියල් මිලියන 17ක් වටිනා ‘Hyperthermic Intraperitoneal Chemotherapy (HIPEC) යන්ත්‍රයක් අද (නොවැම්බර් 08) දින පැවති උත්සවයකදී පරිත්‍යාගයක් ලෙස ලැබිණි.
 
ආරක්‍ෂක ලේකම් සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල කළමනාකරණ මණ්ඩලයේ සභාපති ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් විසින් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහලේ පැවති උත්සවයේදී මෙම වටිනා පරිත්‍යාගය ලබා ගන්නා ලදි.

විවිධ උදර පිළිකා සඳහා ප්‍රතිකාර කිරීම වෙනුවෙන් නිර්මාණය කර ඇති මෙම යන්ත්‍රය ‘The Help Circles’ හි සාමාජිකයින් විසින් පරිත්‍යාග කරන ලදි.

ජාති,ආගම් ආදි හෝ වෙනත් බේද නොසලකා පිළිසරණක් ලැබිය යුතු ශ්‍රි ලාංකීය ජනතාව වෙත පරාර්ථකාමී සහ කාරුණික සේවාවන් ලබාදෙමින් ලාභ නොලබන පුණ්‍යාතනයක් ලෙස ආරම්භයේ සිටම ඉතා ප්‍රශංසනීය සහ සැලකිය යුතු සේවාවක්, පුළුල් පරාසයක විහිදී ඇති මෙම සංවිධානය විසින් ඉටු කෙරෙන බව 'The Help Circles' පිළිබඳ අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා පැවසීය.
 
දිවයිනේ ප්‍රවීන කලාකරුවෙකු හා සංගීතවේදීයෙකු වන කීර්ති පැස්කුවෙල් සහ නිරංග නානායක්කාර මෙම සංවිධානයේ පුරෝගාමී සාමාජිකයන් වේ.

මෙම යන්ත්‍රය පරිත්‍යාග කිරීමේ ඉලක්කය සපුරා ගැනීමට විශාල පිටුවහලක් වෙමින් ‘The Help Circles’ වෙත රුපියල් මිලියන 12.7ක පරිත්‍යාගයක් ලබදුන් අමෙරිකාවේ හූස්ටන් හි ලංකාජිත් පන්විල සහ ප්‍රශාන්ති නුගලියද්ද යන මහත්ම මහත්මීන් ද ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රශංසාවට ලක් විය.

“එය රට තුළ වෙසෙන දහස් සංඛ්‍යාත ජනයාට සහ ඔවුන්ගේ ආදරණීයයන්ට මහත් උත්තේජනයක් වනු ඇති බව මගේ දැඩි විශ්වාසයයි” යනුවෙන් ජෙනරාල් ගුණරත්න රැස්ව සිටි පිරිස අමතමින් පැවසීය.

අද සිදු වූ මෙම පුණ්‍යකර්මය නොඅනුමානව මුළු මහත් ජාතියටම ඉමහත් වටිනාකමක් ඇති උදාරතර කාර්යයක් වන බවද ආරක්‍ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේය.

“අද සිට, සෞඛ්‍ය සේවා පද්ධතියට මෙම වටිනා එකතු කිරීමක් සමඟින් ශ්‍රී ලංකාවේ ජනතාවට ප්‍රතිලාභ ලැබෙනු ඇතයි” යනුවෙන් අදහස් දැක්වූ ජෙනරාල් ගුණරත්න තවදුරටත් පැවසුවේ මෙමගින් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහලට පුළුල් පරාසයක සෞඛ්‍ය ආරක්‍ෂණ සැකසුම් වලට නිරාවරණය වීම තුලින් නිපුණත්වයෙන් පිරි සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සංවර්ධනය කිරීමට හැකියාව ලැබී ඇති බවයි.
 
නවීන යටිතල පහසුකම්, වෛද්‍ය පහසුකම්, උපකරණ සහ මනා පුහුණුව ලත් පළපුරුදු උපදේශකයින්, වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගෙන් සමන්විත ශික්ෂණ රෝහලක් ලෙස, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වයේ හිනිපෙත්තට පැමිණීමේ ලකුණු පෙන්වා ඇති බව ඔහු තවදුරටත් පැවසීය.
 
කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහල් පිළිකා ඒකකය 2018 වසරේ ආරම්භයේ සිටම රසායනික චිකිත්සාව මගින් රෝගීන් 4800 කට ප්‍රතිකාර කර ඇති අතර ප්‍රධාන සැත්කම් 2000 කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇත.

අද එය දිවයිනේ කාර්යබහුලම පිළිකා ප්‍රතිකාර ඒකකයක් ලෙස සැලකේ.

මෙම විශේෂ අවස්ථාව සනිටුහන් කරමින් ආරක්‍ෂක ලේකම්වරයා විසින් ප්‍රවීණ කලාකරු කීර්ති පැස්කුවෙල් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහලේ විධායක ආරක්‍ෂක වෛද්‍ය ජයන් මෙන්ඩිස්, පිළිකා රෝග අංශයේ ප්‍රධානී වෛද්‍ය ජයන්ත බලවර්ධන, රෝහල් අධ්‍යක්‍ෂවරුන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, උපදේශකවරුන්, වෛද්‍ය නිලධාරීන්, ‘The Help Circles’ සාමාජිකයින් සහ රෝහල් කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.