ආරක්ෂක ලේකම් රණවිරු අනුස්මරණ උත්සවය සදහා සහභාගී වේ

නොවැම්බර් 14, 2021

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (2021 නොවැම්බර් 14 ඉරිදා) දින කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස පැවති සන්නද්ධ හමුදා අනුස්මරණ දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

අද පෙරවරුවේ පැවති මෙම උත්සවයේදී ආරක්ෂක ලේකම් විසින් ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.

සියලුම රණවිරුවන් සිහිකරමින් වාර්ෂිකව මෙම උත්සවය පැවැත්වේ.

රණවිරු ස්මාරකය 1921 නොවැම්බර් මස 07 වන දින මුලින් කොළඹ ගාලු මුවදොර ඉදිකරන ලද අතර දෙවන ලෝක සංග්‍රාමයේදී සතුරු ඔත්තු බැලීමේ ගුවන් යානා වලට ප්‍රමුඛ බිම් සලකුණක් ලෙස එය සැලකූ බැවින් පසුව එම ස්මාරකය වර්තමාන ස්ථානයේ පිහිටුවන ලදී.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ (විශ්‍රාමික), කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් දයා රත්නායක (විශ්‍රාමික), නාවික හා ගුවන් හමුදාපතිවරුන්, හිටපු හමුදා පතිවරුන්, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, සේවා මුක්ත භට සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.