අඩු ආදායම්ලාභී මුලතිව් ධීවර පවුල්වල ජීවනෝපාය නඟාසිටුවීමට යුද හමුදා සහාය

නොවැම්බර් 17, 2021

ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් පසුගියදා මුලතිව් පිලමන්තල්ලාරු වැවට මත්ස්‍යයින් 75,000ක් මුදා හැර ඇති බව යුද හමුදා මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රාදේශීය ප්‍රජාවට ආදායම් උත්පාදනයක් ලබා දීම සහ ආහාරයක් ලෙස සපයාගැනීම අරමුණු කරගත් එම ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ මුලතිව් 57 වන සේනාංකයේ 572 බලසේනාවේ භට පිරිස් විසින් මෙය සිදු කරන ලදී.

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සංජය වනසිංහගේ උපදෙස් යටතේ ක්‍රියාත්මක මෙම සමාජ සුබසාධන ව්‍යාපෘතියෙන් පිලමන්තල්ලාරු ප්‍රදේශයේ ධීවර පවුල් විසිපහකට වැඩි පිරිසකට සෙත සැලසෙන බව පැවසේ.

ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ මුලතිව් ශාඛාවේ සහයෝගීතාවයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.