ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ 'සුරක්ෂා' යාත්‍රාව “DOSTI – XV” අභ්‍යාසය සඳහා කොළඹින් පිටත් වේ

නොවැම්බර් 19, 2021

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ 'සුරක්ෂා' යාත්‍රාව 15 වන‘DOSTI’ ත්‍රෛපාර්ශවික වෙරළාරක්‍ෂක ඒකාබද්ධ අභ්‍යාසයට සහභාගී වීම සඳහා මාලදිවයින බලා ඊයේ (නොවැම්බර් 18)දින පිටත් විය.

DOSTI මෙම වසරේ නොවැම්බර් 20 සිට 24 දක්වා මාලේට ඔබ්බෙන් වූ මුහුදේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය පවසයි.

2017 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය වෙත එක්වූ ‘සුරක්ෂා’ නෞකාව විදේශ මුහුදේදි අභ්‍යාසයක් සඳහා සහභාගි වන දෙවන අවස්ථාව මෙයයි.

මිත්‍ර සබඳතා ශක්තිමත් කිරීම, කලාපයේ අන්‍යෝන්‍ය මෙහෙයුම් හැකියාව සහ සහයෝගීතාව ඉහළ නැංවීමේ අරමුණින් දින 4ක් පුරා පැවැත්වෙන මෙම අභ්‍යාසය ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ වෙරළාරක්‍ෂක ආයතන එක්ව පවත්වනු ලබන බව ද ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය පවසයි.

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකා තොරතුරුවලට අනුව, මෙම අභ්‍යාසය සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීම, සමුද්‍ර දූෂණ ප්‍රතිචාර සහ නීතිය බලාත්මක කිරීමේ මෙහෙයුම් කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

මෙම අභ්‍යාසයේ වැදගත්කම අවධාරණය කරමින් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය පැවසුවේ කලාපීය වෙරළාරක්‍ෂක භටයන් අතර සහයෝගීතාව ඉහළ නැංවීම, සමුද්‍රීය මෙහෙයුම්වල හොඳම භාවිතයන් සහ ක්‍රියා පටිපාටි හුවමාරු කර ගැනීම, සමුද්‍රීය ක්ෂේත්‍රයේ නව අභියෝග භාර ගැනීම සහ එම ගැටලු ජය ගැනීම සඳහා සාමූහිකව විසඳුම් සෙවීම ප්‍රමුඛ වන බවයි.

‘DOSTI’ නාවික අභ්‍යාසය ඉන්දියන් සාගරයේ සිදුකරනු ලබන පැරණිතම අඛණ්ඩ අභ්‍යාසය බව ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය වැඩිදුරටත් සඳහන් කරයි.