ඔඩ්ඩුසුඩාන් පාසල් වෙත යුද හමුදාවෙන් ජල පිරිපහදු මධ්‍යස්ථාන

නොවැම්බර් 20, 2021

සිසුන්ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලමින් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පාසල් පරිශ්‍ර තුනක ප්‍රතිඅසෘත ජල පිරිපහදු මධ්‍යස්ථාන තුනක් පසුගියදා ස්ථාපිත කරන ලදී.

ඒ අනුව, කුලාමුරිප්පු රජයේ දෙමළ පාසල, කරිපඩ්ඩමුරිප්පු රජයේ දෙමළ මිශ්‍ර පාසල සහ පාලම්පාසි රජයේ දෙමළ මිශ්‍ර පාසල යන පාසල්වල සිසුන්ට එම පහසුකම ලැබුණු බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

සීමාසහිත ‘National PVC’ සමාගම විසින් අනුග්‍රහය දක්වන ලද මෙම ව්‍යාපෘතිය සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 64 වන සේනාංකයේ 641 සහ 642 බලසේනාවන් විසින් සම්බන්ධීකරණය කල බව යුද හමුදාව වැඩිදුරටත් පැවසීය.

ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරීන්, අනුග්‍රාහක ආයතනයේ නිලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන් ජල පිරිපහදු මධ්‍යස්ථාන භාරදීමේ අවස්ථාවන් සඳහා සහභාගී වූ බව යුද හමුදාව තහවුරු කළේය.