බිම් බෝම්බ වලින් තොර දේශයක් වෙනුවෙන් යුද්ධ හමුදා දායකත්වය

නොවැම්බර් 21, 2021

දිලංක ගුණතිලක

තිස් වසරක යුද්ධයක් මානුෂීය මෙහෙයුමකින් අවසන් කර මේවන විට වසර දොළහක් ගතවී අවසන්ය. නමුත් මේවන විටත් බිම් බෝම්බ සහ යුද්ධයේ පිපිරුම් ශේෂවලින් දූෂ්‍යකරණයට ලක්වීම නිසා අපේ ජනජීවිතයට විවිධ ආකාරවලින් බලපෑම් කරමින් සිටිති. එම බලපෑම මෙරට ආර්ථික සාමාජීය මෙන්ම සංස්කෘතික සංවර්ධනයට එල්ල කරන්නේ දැවැන්ත බලපෑමකි. ශ්‍රී ලංකාප ආරක්ෂක හමුදා සහ එල්ටීටීඊ සංවිධානයත් 1987 ජූලි මාසයේ සිට 1990 ජනවාරි දක්වා කාලය තුළ මෙරට රැඳී සිටි ඉන්දීය සාමසාධක බලකායද බිමිබෝම්බ බාවිත කළහ. නමුත් මේවා ඉවත් කිරීමේ කටයුතුවලට විශාල බාධකයක් වී තිබෙන්නේ එල්ටීටීඊ සංවිධානය විසින් කිසිදු සිතියම් ගතකිරීමකින් තොරව ජාත්‍යන්තර යුද නීතීන් පවා උල්ලංඝණය කරමින් සිදුකළ බිම්බෝම්බ ඇතිරීමයි.

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන විසින් පුද්ගල නාශක බිම්බෝම්බ සහ යුද්ධ ටැංකි නාශක බිම්බෝම්බ භාවිත කළ අතර ඒ සියල්ල සටහන් ගතකර සිතියම්ගත කර ඇත. 2004 වසරේ සැප්තැම්බර් මාසයේදී සම්මත යුද අවි සම්මුතියේ දෙවන අමතර කෙටුම්පත පරානුමත කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා අරක්ෂක හමුදාවන් විසින් වැළලූ සියලුම බිම්බෝම්බ එම අමතර කෙටුම්පතට අනුකූලවන පිරිදි වාර්තාකරන ලදී. ගැටුම් නිමාවූ පසු එම බිම්බෝම්බ වැළලූ භූමි පිළිබඳ සියලුම තොරතුරු ආරක්ෂක හමුදාවන් විසින් බිම්බෝම්බ කාර්යය වැඩසටහන වෙත භාරදෙන ලදී. එම සියලුම තොරතුරු බිම්බෝම්බ කාර්යය සඳහාවන ජාතික තොරතුරු කළමනාකරණ පද්ධතියේ ගබඩා කර ඇත.

එල්ටීටීඊ සංවිධානය විසින් පුද්ගල නාශක බිම්බෝම්බ විශාල වශයෙන් භාවිතකළ අතර යුද්ධ ටැංකි නාශක බිම්බෝම්බද යම්තාක්දුරකට භාවිත කර තිබුණි. නමුත් ඒවායේ සටහන් කිසිවක්ම නොමැත. ළිං, ගොඩනැඟිලි, මාර්ග ආදී ඕනෑම ස්ථානයක බිම්බෝම්බ වැළලීමට එල්ටීටීඊ සංවිධානය කටයුතු කර තිබුණි. එසේම 2006-2009 කාලසීමාවේදී යුද්ධයේ අවසන් අදියරේදී එල්ටීටීඊ සංවිධානය බිම්බෝම්බ විශාල වශයෙන් විසුරුවා හැර තිබුණි. ඇතුම් අවස්ථාවලදී එම බිම්බෝම්බ ඉවත්කිරීමට නොහැකිවන සේ සකස්කළ  බිම්බෝම්බද එල්ටීටීඊ සංවිධානය විසින් භාවිත කර තිබේ.

ඒ අනුව බිම්බෝම්බ සහ යුද්ධයේ පිපුරුම් ශේෂවලින් පීඩාවට පත්වූවන්ගේ අවශ්‍යතා සපුරාලන ආරක්ෂක පරිසරයක වාසය කිරීමට පුරවැසියන්ට හැකියාව ඇතිකරවමින් ශ්‍රී ලංකාව බිම්බෝම්බ සහ යුද්ධයේ පිපුරුම් ශේෂවල තර්ජනවලින් මුදවාගැනීමේ අරමුණින් මෙරට බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කෙරිණ. මෙම කටයුතු 2002 වර්ෂයේදි ආරම්භ කෙරුණු නමුත් 2006 වර්ෂයේදී එල්ටීටීඊ සංවිධානය විසින් සාම ගිවිසුම් උල්ලංඝණය කරමින් මාවිල්ආරු සොරොව්ව වසාදමා සාමාන්‍යය ජනජීවිතයට බාධා එල්ල කිරීම නිසාවෙන් මානුෂීය මෙහෙයුම ආරම්භ කිරීමත් සමඟ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවලට බාධා එල්ලවිය. මානුෂවාදී බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කළ දින සිට මේ දක්වා  කරන ලද සමීක්ෂණයන්ට අනුව වර්ග කිලෝමීටර් 1316.64ක් බිම්බෝම්බ සහ පිපුරුම් ශේෂවලින් බලපෑමට ලක්ව ඇතිබවට හඳුනා ගැනුණි.

එහිදී අම්පාර, අනුරාධපුර, මඩකලපුව, යාපනය, කිලිනොච්චි, මන්නරම, මුලතිව්, පොලොන්නරුව, පුත්තලම, ත්‍රිකුණාමලය සහ වව්නියාව දිස්ත්‍රික්කය ආශ්‍රිතව ගම්මාන 640ක පමණ බිම්බෝම්බ සහ පිපුරුම් ශේෂවලින් දූෂ්‍යකරණයට ලක්ව ඇති බවට හඳුනා ගැණුනි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල විසින් ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත්කිරීමේ කටයුතු වලට මූලික වශයෙන් මැදිහත් වූ අතර 2002 වර්ශයේ සිට විවිධ වූ ආයතන 19ක් මෙරට බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවලට දායයත්වය සැපයීය. නමුත් මේවන විට සක්‍රීයව දායත්වය සපයක්නේ ශ්‍රී ලංකා යුද්ධහමුදාව සහ තවත් ආයතන හතරක් පමණි. මෙහි විශේෂත්වය වන්නේ බිම්බෝම්බ සහ පිපුරුම් ශේෂවලින් දූෂ්‍යකරණයට ලක්වු බිම් නිසැක කිරීමේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා දායකත්වයයි. ආරම්භයේදී රොන්කෝ ජාත්‍යන්තර උපදේශන සමාගමේ උපදේශනය මා මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මානුෂවාදී බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කළ අතර එම කටයුතු වෙනුවේ යුද්ධහමුදාව වෙත පැවරූ වර්ග කිලෝමීටර් 886.05න් වර්ග කිලෝමීටර් 1.22 ක පමණයක් හැර ඉතිරි සියලුම භූමිය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් නිසැක කර තිබීමයි. 2002 වර්ෂයේ සිට මේදක්වා  ක්‍රියාත්මක වන සෙසු රාජ්‍ය නොවනආයතන 18 වෙත පැවරූ වර්ග කිලෝමීටර් 418.04න් තවත් වර්ග කිලෝමීටර් 11.33ක් නිසැක කළයුතුව තිබේ.

ජාතික බිම්බෝම්බ ක්‍රියාකාරී මධ්‍යස්ථානය (National Mine Action Center) සමඟ එක්ව ක්‍රමානුකූල තක්සේරුවක් මෙන්ම අධීක්ෂණය සහ මඟපෙන්වීම ඇතිව ශ්‍රී ලංකා යුද හමුදා මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකය (SLA-HDU) විසින් සැඟවුණු බිම් බෝම්බ ඉවත් කිරීමේ දැවැන්ත කාර්යයක් ඉටු කර ඇත. මේවන විට අම්පාර, මඩකලපුව සහ පුත්තලම දිස්ත්‍රික්ක ආශ්‍රිතව හඳුනාගත් බිම් බෝම්බ අවධානම් ප්‍රදේශ සම්පූර්ණයෙන්ම නිසැක කර ඇත. එය සුවිශේෂි ජයග්‍රහණයකි. මේ සියලු කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු භට පිරිස් දක්වන්නේ සුවිශේෂී දායකත්වයකි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි ඉංජිනේරු බලාකයේ වර්තමාන කර්නල් සේවාවිධායක සහ යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් නිහාල් අමරසේකරගේ අධීක්ෂණයට යටතේ මේවන විට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු භට පිරිස් බිම්බෝම්බ අවසධානම් ප්‍රදේශ නිසැක කිරීමේ කටයුතු වේගවත් කර ඇත.

සමස්තයක් වශයෙන් ගත් කළ මේවන විට හඳුනාගත් බිම්වෙඩි කෙත් සහිත වර්ග කිලෝමීටර් 12.55 ක් නිසැක කිරිමේ කටයුතු සිදුකළ යුතුව තිබේ. ඉන් 70%ක් පමණ වනාන්තර සහ තෘණ භූමිය. ඉන් තවත් 15%ක් ජල මූලාශ්‍ර, කුඹූරු සහ පොල්වතු සහ හේන ආශ්‍රිත භූමි ලෙස හඳුනාගෙන ඇති අතර ඉතිරි 15% වෙනත් භූමි ලෙස හදුනාගෙන ඇත.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් විසින් බිම්වෙඩි කෙත් නිසැක කිරීමේ කටයුතුවලදී සුවිශේෂි දායකත්වයක් ලබා දී ඇති බව පවසන්න් සියලු සාක්ෂි සහිතවය. මෙරට වැදගත්ම ආගමික සිද්ධස්ථානයක් ලෙස ජනාකර්ශනයට පත්ව තිබෙන මඩු සිද්ධස්ථානය අවට භූමියේ බිම් වෙඩි කෙත් නිසැක කරනු ලැබුවේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස්ය. එසේම ඒ 9 මාර්ගයෙ, උතුරු දුම්රිය මාර්ගය, කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණ, මන්නාරම සහල් නැළිය, යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය කෘෂි විද්‍යාපීඨ භූමිය ආශ්‍රිත බිම් වෙඩි කෙත් නිසැක කිරීමේ කටයුතු සිදුකරනු ලැබුවේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස්ය. එසේම 2009 වර්ෂයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස්  විසින් මඩකලපුවේ ගම්මාන 72ක් මාස 6ක් ඇතුළත බිම් වෙඩි කෙත් නිසැක කර අභ්‍යන්තරඅවතැන් වූවන් නැවත පදිංචි කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා බිම් වෙඩි කෙත් නිසැක කිරීමේ කටයුතුවල සුවිශේෂී සංධිස්ථානයකි.

බිම් වෙඩි කෙත් නිසැක කිරීම සරළ කටයුත්තක් නොවේ. එය අධි අවධානම් කටයුත්තකි. එසේම බිම් වෙඩි කෙත් නිසැක කරන සොල්දාදුවන් ඒ වෙනුවෙන්ම සකස්කළ සුවිශේෂි ඇඳුම්වලින් සැරසී අදාළ කටයුතුවල නිරතවන අතර අදාළ ප්‍රදේශවල පවතින අධික උණුසුම් වටපිටාව ඔවුන් දැඩි ලෙස පීඩාවට පත්කරවයි. එසේම කැලෑබද ප්‍රදේශ ආශ්‍රිතව වනසතුන්ගෙන් සිදුවන උවදුරු සුලබය. නමුත් ඒවායින් මොහොතකටවත් පසුබට වන්නට ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් සූදානම් නැත. මෙම ක්‍රියාන්විතයේ දී ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිසැක කරන සෑම ප්‍රදේශයකම ගිලන් රථයක් සහ ඉංජිනේරු බලකායේ පුහුණුවලත් වෛද්‍ය සහයකයින්  ස්ථාන ගත කර ඇත.

 

 

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බිම් වෙඩි කෙත් නිසැක කිරීමේ මෙහෙයුම්වලට දායකත්වය සපයන මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකය දැනට සුනඛයන්ද පුහුණු කර බිම් වෙඩිකෙත් නිසැක කිරීමේ කටයුතුවලට යොදවා ඇත. ඒ අනුව පුහුණුවලත්  සුනඛයින් 10 දෙනෙකු මේවන විටත් බිම් වෙඩිකෙත් නිසැක කිරීමේ කටයුතුවල නිරතව සිටිති.   ඔවුන් වව්නියාව, බූ ඔය ක්ෂේත්‍ර ඉංජිනේරු බලසේනා මූලස්ථානයේ මූලික පුහුණුව සහ උසස් බිම් බෝම්බ හඳුනාගැනීමේ පුහුණුව ලබා ගනී.. බිම් වෙඩි කෙත් නිසැක කිරීමේ කටයුතු වෙනුවෙන් ඔවුන් යොදවන්නේ මාස 6ක පුහුණුවෙන් පසු සුනඛයා සහ හසුරුවන්නා ජාතික බිම්බෝම්බ ක්‍රියාකාරී මධ්‍යස්ථානය  විසින් යෝග්‍යයතා පරීක්ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුවය.

මෙම සුනඛයන්ගෙන් සිදුවන සේවය අතිමහත්ය. මොවුන් ඉටුකරන විශිෂ්ට සේවය ජාත්‍යන්තරව පවා ඇගයීමකට ලක්ව ඇත.  එක්සත් ජනපදය පදනම් කරගත් මාර්ෂල් ලෙගසි ආයතනය විසින් ලබා දෙන ලොව හොඳම බිම් බෝම්බ හඳුනාගැනීමේ කණ්ඩායමට  හිමි සම්මානය 2012, 2016, 2017 සහ 2019 වසරවලදී  ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ හඳුනාගැනීමේ සුනඛයන්ට හිමිවිය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කයිරෝ, ඇල්වින්, සීරා සහ සැමී සුනඛයින් එලෙස ජාත්‍යන්තර ඇගයීමට ලක්වූහ.

කලකට පෙර මිනිසෙකු නොව වන සතෙකුවත් පය ගැසීමට බියවූ මෙන්ම මරණයේ බිමි ලෙසින් හැඳින්වූ බිම්වලින් අතිවිශාල ප්‍රමාණයක් මේවන විට නිසැක කර අවසන්ය. ඒවා මේවන විට මානව ක්‍රියාකාරකම් සඳහා යොදාගනී. එදා මරණයේ බිම් ලෙස හැඳින්වූ බිම්කඩවලින් රන් අස්වනු නෙළන යුගය දැන් උදාවී ඇත. එය රටේ ජාතික ආර්ථිකයට මහත් ශක්තියකි. එදා මරණයේ සෙවණැලිවලින් පමණක් පිරී තිබූ බිම්වල අද ඇසෙන්නේ කුඩා දරුවන්ගේ සිනා හඬයි. එය අනාගත සමාජ සංවර්ධනයේ සුබ ලකුණකි. එදා බෝම්බ හඬ පමණක්ම රැවි පිළිරුව් දුන් බිව්වල අද රැව් පිළිරැව් දෙන්නේ පන්සල්වල, කෝවිල්වල, පල්ලිවල ඝණ්ටාර හෝ සීනු හඬයි. එය ආගමික සශ්‍රීකත්වයේ සුබ ලකුණයි. මේ සුරක්ෂිත දේශයක අනාගත සුබලකුණයි.

 

 

අනුග්‍රහය - සති අග අරුණ පුවත්පත