ලෝක ආරක්ෂක විද්‍යායතය අතරට එක්වුණු ලංකාවේ ජාතික ආරක්ෂක විද්‍යායතනය

නොවැම්බර් 22, 2021

දිලංක ගුණතිලක

ලෝකයේ ආරක්ෂක හමුදාවන් මේවනවිට යුදමය කාර්යයන්වලට පමණක් සීමා වී නැත. ඔවුන් තම ප්‍රාථමික රාජකාරි ඉටු කරමින් සිටියදීම තම ප්‍රථමික රාජකාරිවලට අමතරව විවිධ වූ රාජකාරීන් ඉටුකරති. ඔවුන් ඒ රාජකාරීන් සඳහා යොමුකරවන්නේ අදාළ කටයුතු සම්බන්ධයෙන් ශික්ෂණයක් සහ පුහුණුවක් ලබා දීමෙන් අනතුරුවයි. ලොව ප්‍රබලතම යුද ශක්තීන් ඇති රටවල මේ වෙනුවෙන්ම වූ ආරක්ෂක විද්‍යායතන බිහිකර ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ නම් එක්සත් ජනපද හමුදා විද්‍යාපීඨය, එක්සත් රාජධානියේ නම් එක්සත් රාජධානි හමුදා විද්‍යාපීඨය, වීනයේ ආරක්ෂක ආධ්‍යාපනය සඳහා වූ අන්තර්ජාතික විද්‍යායතනය, ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨය, පකිස්ථානු යුද්ධ හමුදා විද්‍යාපීඨය, බංගලාදේශ යුද්ධ හමුදා විද්‍යාපීඨය හමුදා නිලධාරීන් වෙත උසස් අධ්‍යාපනය ලබාදෙන ලොව ප්‍රචලිත ආරක්ෂක අධ්‍යයන ආයතන වේ.

ශ්‍රී ලංකාවේ වෘත්තීය හමුදා නිලධාරියෙකු බිහිකිරීම වෙනුවෙන් දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨය, සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය, සපුගස්කන්ද අණ හා මාණ්ඩලික විද්‍යාලය, බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය, මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල ආදී පුහුණු හා අධ්‍යයන මධ්‍යස්ථාන ක්‍රියාත්මක වේ. මේවායෙන් උසස් වෘත්තීය මට්ටමකින් යුද්ධ හමුදා නිලධාරියෙකු බිහි කිරීමේ කටයුතු මේවන විටත් සිදුකෙරේ.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ නිලධාරීන්ට ජාතික ආරක්ෂාවට සම්බන්ධ ඉහළ මට්ටමේ හමුදා පාඨමාලාවක් පවත්වමින් පර්යේෂණ සඳහා මුලිකත්වය ලබා දී දැනුම් ගවේෂණය කරන ආරක්ෂක නිලධාරීන් බිහිකරමින් ශ්‍රී ලංකාව ක්‍රමෝපායික වශයෙන් ලෝකය හා සම්බන්ධ කිරීමේත්, ආරක්ෂක ක්ෂේත්‍රයට සම්බන්ධ දේශීය හා විදේශීය විද්‍යාර්ථීන් එක් දැනුම් කේන්ද්‍රස්ථානයක් තුළ මුණගැස්වීමේත්, ආරක්ෂක ක්‍රමෝපායන් හා ක්‍රමවේදයන් පිළිබඳව හමුදා සහ සිවිල් නිලධාරින් වැඩි දෙනෙකුට විධිමත් පුහුණුවක් ලබාදීමේත් අරමුණු ඇතිව, ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමට යෝජනා විය. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ සියලු පහසුකම්වලින් අංග සම්පූර්ණ ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ආරම්භ කිරීමට අදාළව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

මෙම විද්‍යායතනය ස්ථාපිත කිරීමට අදාළව පණතක් කෙටුම්පත් කිරීම සඳහා චමල් රාජපක්ෂ මහතා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධූරය දුරූ සමයේ කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් යොමු කළ අතර ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා රාජ්‍ය අංශයේ ඉහළ තනතුරු දරණ විධායක නිලධාරීන්ට ජාතික ආරක්ෂාව හා ක්‍රමෝපායික අධ්‍යයනය සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් මෙරට ස්ථාපිත ප්‍රථම හා උසස්ම අධ්‍යයන හා පර්යේෂණ ආයතනය වන්නේ ජාතික ආරක්ෂක විද්‍යායතනයයි. ජාතික අවශ්‍යතා තහවුරු කිරීම සඳහා ජාතික ආරක්ෂාව, රාජ්‍ය තාන්ත්‍රිකභාවය හා රාජ්‍ය ප්‍රතිපත්ති අංශයන්හි උපායමාර්ගික චින්තකයින් සහ නායකයින් බිහි කිරීම මෙහි මෙහෙවරයි.

ගාලුපාරේ, කොළඹ 03 පිහිටි ආරක්ෂක අමාත්‍යංශයට අයත් දිගු ඉතිහාසයක් ඇති “මුම්ටාස් මහල්” ගොඩනැගිල්ලේ “ජාතික ආරක්ෂක විද්‍යායතනය” ස්ථාපිත කර තිබේ. එහි ප්‍රධාන ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අධ්‍යයන පහසුකම් නිරීක්ෂණය කළේය. ඉන් අනතුරුව “ජාතික ආරක්ෂක විද්‍යායතනයේ” නිල වෙබ් අඩවිය එළිදැක්වීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

කොළඹ විශ්වවිද්‍යාලය, සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, ඕස්ට්‍රේලියානු ආරක්ෂක පුහුණු විද්‍යාලය, ඇමරිකාව හා පකිස්ථානය යන රටවල විශේෂඥයෝ මෙහි විෂය නිර්දේශ කමිටුවට සම්පත්දායකත්වය සැපයූහ.ජාතික ආරක්ෂක විද්‍යායතනයේ අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයක් සඳහා චීන රජයත්, පුස්තකාලයක් ඉදිකිරීමට පකිස්ථාන රජය දායකත්වය සපයා ඇත. එසේම පුස්තකාලය සඳහා අවශ්‍යය ශාස්ත්‍රීය ග්‍රන්ථ ලබාදීම ඕස්ට්‍රේලියානු රජයෙන් සහ ත්‍රිවිධ හමුදාවන් විසින් සිදු කරනු ලැබිණ.

ජාතික ආරක්ෂක විද්‍යායතනයේ පළමු පාඨමාලාව 2022 අගෝස්තු මාසය දක්වා මාස 10ක කාලයක් පූර්ණ කාලීනව පැවැත්වෙන අතර ඊට ත්‍රිවිධ හමුදාවේ නිලධාරීහු 27 දෙනෙක් සහ පොලීසියේ නිලධාරීහු 04 දෙනෙක් ඇතුළත් වෙති.

ශ්‍රී ලංකාවේ “ජාතික ආරක්ෂක විද්‍යායතනය” පිහිටුවීම දිගුකාලීන අවශ්‍යතාවක ඉටු වීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතින ආරක්ෂක විද්‍යායතනය විවෘත කිරීමේ උත්සව සභාව අමතමින් සඳහන් කළේය. එසේම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ට ක්‍රමෝපායික අධ්‍යාපන අවස්ථා ලබාගැනීම සඳහා විදේශ අධ්‍යාපන ආයතනවල පවතින අවස්ථා සෙවීම හැර වෙනත් විකල්පයක් නොතිබූ බවත් සෑම වසරකම මිත්‍ර රටවල් පිරිනමනු ලබන පාඨමාලා නිලධාරීන් කිහිපදෙනෙකුට විශාල ප්‍රතිලාභයක් සැලසුව ද, තවත් බොහෝ පිරිසකට අවස්ථාව අහිමි වූ බව ජනාධිපතිතුමා එහිදී ප්‍රකාශ කළේය. එම නිසා මෙම විද්‍යායතනය පිහිටුවීමෙන් සෑම වසරකම එවැනි අත්දැකීම් ලැබිය හැකි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සංඛ්‍යාව විශාල ලෙස වැඩිවනවාසේම මෙම පාඨමාලාව හදාරන නිලධාරීන්ට ඉදිරියේ දී ජ්‍යෙෂ්ඨ ආඥාපති තනතුර දැරීමට මෙන්ම හමුදාපති තනතුර දැරීමට ද අවස්ථාව උදාවිය හැකි බව ජනාධිපතිතුමා පැවසීය.

ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ පළමු සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් අමල් කරුණාසේකර (විශ්‍රාමික) පත්කෙරුණු අතර ජාතික ආරක්‍ෂක ගැටලු සහ උපාය මාර්ගික ශිල්පක්‍රම අධ්‍යයනය කිරීම සඳහා සියලුම නිලධාරීන්ට මෙමඟින් අවස්ථාව උදාවේ. එමෙන්ම ආරක්‍ෂක සහ රාජ්‍ය නිලධාරීන් සඳහා උපාධි පාඨමාලා පවත්වන අතර විදේශ රටවල ආරක්‍ෂක සේවා නිලධාරීන්ටද මෙහි අධ්‍යයන අවස්ථා හිමිවෙයි. ආරක්‍ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ට සහ සිවිල් නිලධාරීන් සඳහා ක්‍රමෝපායික අධ්‍යාපන අවස්ථා ලබාගැනීම සඳහා විදේශ අධ්‍යාපන ආයතනවල පවතින අවස්ථා සෙවීම හැර වෙනත් විකල්පයක් නොතිබිණ යුගයක ‘ප්‍රඥාව - සෞභාග්‍යය - දරාගැනීම ’ යන තේමාව පෙරදැඩිව ජාතික ආරක්‍ෂක විද්‍යාලය ස්ථාපනය කරන ලදී.

 

 

මේ මඟින් උපාධි මගින් උපායමාර්ගික චින්තකයෙකු, උපායමාර්ගික විශ්ලේෂකයෙකු, උපායමාර්ගික තීරණ ගන්නෙකු සහ උපායමාර්ගික උපදේශකයෙකු නිර්මාණය කිරීම අරමුණු කෙරෙන අතර ජාතික ආරක්‍ෂාව, උපායමාර්ගය සහ ප්‍රතිපත්ති සම්බන්ධ විෂයයන් සඳහා හැකි හොඳම ඉහළ මට්ටමේ දේශපාලන මෙන්ම ආරක්ෂක උපාය මාර්ගික උපාධි වැඩසටහන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලවන පිරිදි ලබා දීම සිදුකෙරේ.

ජාතික ආරක්ෂක විද්‍යායතනයෙන් අධ්‍යයන මොඩියුල අටක් අධ්‍යයන වාර දෙකක් පුරා ක්‍රියාත්මක කෙර්. ජාතික ආරක්ෂාවට සහ ප්‍රතිපත්තිවලට බලපාන වත්මන් ජාතික, කලාපීය සහ ගෝලීය ගැටලු සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා උපාය මාර්ගික විකල්ප සැකසීම සලකා එක් එක් මොඩියුලය සංවර්ධනය කෙරේ. තවද, ජාතික ආරක්ෂාව පිළිබඳ ඔවුන්ගේ අවබෝධය පුළුල් කර ගැනීම සඳහා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් රාජ්‍ය නායකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් හමුවීමට පාඨමාලා සඳහා සහභාගිවන්නන්ට අවස්ථාව තිබේ.

මෙය ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අධ්‍යයන වංශකතාවේ නව සන්ධිස්ථානයක්වන අතර විශේෂයෙන්ම වෘත්තීමය ආරක්ෂක අංශයක් බිහිකිරීම වෙනුවෙන් ගනුලැබූ දැවැන්ත පියවරකි.

 

 

අනුග්‍රහය - මව්රට පුවත්පත