බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන නිරීක්‍ෂණයට රුසියානු හමුදා නියෝජිත පිරිසක් දිවයිනට

නොවැම්බර් 24, 2021

රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදාවෙහි ඉංජිනේරු හමුදා ප්‍රධානී ලුතිතන් ජෙනරල් යූරි මිහයිලොවිච් ස්ටාවිට්ස්කි ප්‍රමුඛ සිව් දෙනෙකුගෙන් යුත් රුසියානු හමුදා නියෝජිතයින් පිරිසක් සිව් දින සංචාරයක් සඳහා ඊයේ (23) දින දිවයිනට පැමිණෙන ලදි.

ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් නිහාල් අමරසේකර සහ යාන්ත්‍රික ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුරුද්ධ සෙනවිරත්න විසින්  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රුසියානු හමුදා නියෝජිතයින් පිරිස පිළිගනු ලැබීය.  

මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකා යුද හමුදාවේ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම දැක බලා ගැනීම සහ ද්විපාර්ශ්වික හමුදා සහයෝගීතා වැඩසටහන යටතේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා උසස් තාක්‍ෂණික විශේෂඥතාවන් බෙදා ගැනීමටත් අපේක්‍ෂා කෙරේ.
 
මේ වනවිට උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල වර්ග කිලෝමීටර් 12.88 ක භූමි ප්‍රදේශයක සම්පූර්ණයෙන් බිම්බෝම්බ ඉවත්කර ඇති අතර, යුද හමුදාව විසින් වර්ග කිලෝමීටර් 1.24 ක ප්‍රදේශයක බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සිදුකරනු ලබන අතර මෙම නියෝජිත පිරිස එම ස්ථානවල සංචාරය කිරීමට නියමිත බව යුද හමුදාව පවසයි.

ඔවුන් යුද හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවීමට ද නියමිත බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටින බව යුද හමුදාව වැඩිදුරටත් පැවසීය.