මඩකලපුව රෝහලේ රුධිර සංචිතය ප්‍රතිපූර්ණයට යුද හමුදා භටපිරිස් දායක වෙයි

නොවැම්බර් 25, 2021

මඩකලපුව ශික්ෂණ රෝහලට අවශ්‍ය රුධිර සංචිතය ප්‍රතිපූර්ණය සඳහා ලේ දන්දීමේ වැඩසටහනක් නැගෙනහිර ආරක්‍ෂක සේනාවට අයත් යුද හමුදා සාමාජිකයින් විසින් පවත්වන ලදී.

රෝහලේ සෞඛ්‍ය බලධාරීන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 23 වන සේනාංකය යටතේ ඇති 231 බලසේනාවේ සෙබළුන් 95 කට අධික පිරිසක් මේ සඳහා දායක වූ බව යුද හමුදා මාධ්‍ය පවසයි.

එම රෝහලේ වෛද්‍ය නිලධාරීන් සහ හෙදියන් කණ්ඩායමක් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර පසුගියදා මුරුන්කන් මහා විද්‍යාල පරිශ්‍රය සහ ඒ අවට පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපාරයක් සඳහා යුද හමුදා සෙබළුන් පිරිසක් පාසල් බලධාරීන්, සිසුන් සහ දෙමාපියන් සඳහා සහය ලබා දී ඇත.

ඩෙංගු ආදී රෝග ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් ලෙස 54 වන සේනාංකයේ 542 බලසේනාවට අයත් සෙබළුන් මෙම ශ්‍රමදාන වැඩසටහනට සම්බන්ධ වූ බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.