කොළඹ වාහන ගමනාගමනය නිරීක්‍ෂණය සඳහා පොලිසියට ගුවන් හමුදා සහය

නොවැම්බර් 26, 2021

ශ්‍රී ලංකා ගුවන් හමුදාව පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් 25) දින කොළඹ ප්‍රදේශයේ වාහන ගමනාගමනය නිරීක්‍ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සමඟ ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කරන ලදී.

මේ සඳහා බෙල් 212 හෙලිකොප්ටර් යානයක් සහ ඩ්‍රෝන යානා යොදා ගත් බව ගුවන් හමුදා මාධ්‍ය වාර්තා කරයි.

නෙළුම් පොකුණ හංදිය, ආයුර්වේද හන්දිය, දියත උයන ප්‍රදේශය, පංචිකාවත්ත ප්‍රදේශය, නව කැලණි පාලම ප්‍රදේශය සහ පාර්ලිමේන්තු හංදිය යන ප්‍රදේශවලදී මෙය සිදු කෙරුණු බව සඳහන් වේ.  

සංචරණ සීමාවන් ඉවත් කිරීමෙන් පසු කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල වාහන ගමනාගමනය වැඩිවීමත් සමඟ මාර්ග තදබදයේ වැඩිවීමක් නිරීක්‍ෂණය වී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ මඟපෙන්වීම මත මෙම මෙහෙයුම දියත් කර ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.