57 වැනි යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලිය 2020-2021, උත්කර්ෂවත් අයුරින් නිමාවේ

නොවැම්බර් 26, 2021

නුදුරු අනාගතයේදී තවත් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ රැසකට බලාපොරොත්තු දල්වමින් අද (26) සන්ධ්‍යාවේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ‘57 වැනි යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලිය 2020-2021’ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මළල ක්‍රීඩා ශූරතාවලියේ සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මලල ක්‍රීඩා කමිටුවේ සභාපති සහ 1 වන බළකායේ බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ගේ ආරාධනයෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී විය.

එම අවස්ථාවට සපැමිණි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, තරඟාවලියේ අවසන් තරඟ කිහිපයක් නැරඹීම සඳහා ප්‍රධාන වේදිකාව වෙත කැටුව යන ලදී.

ඉකුත් සඳුදා (22) දින ආරම්භ වූ 57 වැනි යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලිය 2020-2021, දින 5 ක් පුරා ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් සමන්විතව මනා පුහුණුවක් ලත් යුද්ධ හමුදාවේ යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 700 කට වැඩි පිරිසක් සහභාගීත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. වාර්ෂිකව පවත්වනු ලබන මෙම මළල ක්‍රීඩා ශූරතාවලිය සඳහා යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තු මූලස්ථාන නියෝජනය කරමින් යුද්ධ හමුදා යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගීවේ.

සිකුරාදා දින පැවැත්වූ අවසන් තරගාවලිය සඳහා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිවිල් අංශයේ කීර්තිමත් ශූරයන්ගේ මගපෙන්වීම යටතේ තෝරා ගනු ලැබු අතර ඒ සඳහා එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් විවිධ මට්ටම්වල පෙර සූදානම් වීමේ තරඟ සඳහා සහභාගී වූහ. එම පුහුණුවීම් කටයුතු පවතින කොවිඩ්-19 සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් පවත්වනු ලැබීය.

තියුණු තරගයකින් අනතුරුව, සමස්ත තරගාවලියේ ජයග්‍රාහකයින් ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ක්‍රීඩකයින් ශූරතා කුසලානය හිමිකර ගත් අතර 2 වන සහ 3 වන ස්ථාන පිළිවෙලින් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් දිනා ගැනීමට සමත් වූහ.

මෙම අවසන් තරඟ ඉසව්වන් නැරඹීම සඳහා දිවයිනේ කීර්තිමත් සිවිල් ක්‍ෂේත්‍රයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සමඟින්, ජාත්‍යන්තර මලල ක්‍රීඩා ඉසව් රැසකට විදේශයන්හි තරඟ වැදුණු යුද්ධ හමුදාවේ කීර්තිමත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක්ද සහභාගි වූහ.

ශ්‍රී ලංකාවට ප්‍රථම ඔලිම්පික් පදක්කම දිනා දුන් ලුතිනන් ඩන්කන් වයිට්ගේ සභාපතිත්වයෙන් යුත් යුද්ධ හමුදා මලල ක්‍රීඩා කමිටුව 1950 වසරේ ආරම්භයේ සිට ඔලිම්පික්, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා, ආසියානු ක්‍රීඩා, දකුණු ආසියානු ක්‍රීඩා තරඟ, ලෝක ආරක්‍ෂක සේවා මලල ක්‍රීඩා තරඟ ඇතුළු බොහෝ ජාත්‍යන්තර තරඟවලදී මේ දක්වා රන්, රිදී සහ ලෝකඩ පදක්කම් රැසක් දිනාගෙන ඇති අතර එය වෙනත් කිසිදු ආයතනයකින් මෙතෙක් ලබා නොමැති වාර්තාගත ජයග්‍රහණයකි.

යුද්ධ හමුදා මලල ක්‍රීඩා ජයග්‍රහණ පිළිබඳව සිය සතුට ප්‍රකාශ කළ ප්‍රධාන ආරාධිත අමුත්තා එක් එක් ජයග්‍රාහකයින්ට සුබ පැතුම් එක්කරමින් ඔවුන් වෙත කුසලාන සහ පදක්කම් බෙදා දෙන ලදී.

මෙම මළල ක්‍රීඩා ශූරතාවලියේදී නව යුද්ධ හමුදා වාර්තා, ජාතික මට්ටමේ වාර්තා, නව තරඟ වාර්තා සහ යුද්ධ හමුදා මලල ක්‍රීඩා තරඟ වාර්තා පිහිටුවූ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර; ශ්‍රී ලංකා වාර්තාව 1ක්, යුද්ධ හමුදා මලල ක්‍රීඩා වාර්තා 3ක් සහ තරග වාර්තා 14ක් ඇතුළත් වේ.

සිකුරාදා (26) දින පැවති සමාප්ති උත්සවය සඳහා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ, යුද්ධ හමුදා මලල ක්‍රීඩා කමිටුවේ සභාපති සහ 1 වන බළකායේ බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ, අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු, ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් නිහාල් අමරසේකර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ යුද්ධ හමුදා මලල ක්‍රීඩා කමිටුවේ සාමාජිකයින් සහභාගී වූහ.

අනුග්‍රහය - - www.army.lk