ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ‘Rigid Hulled Inflatable’ වර්ගයේ බෝට්ටුවක පරිත්‍යාගයක්

නොවැම්බර් 29, 2021

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍ර අපරාධ වැඩසටහන වෙතින් ‘Rigid Hulled Inflatable’ වර්ගයේ බෝට්ටුවක් මිරිස්ස වෙරළාරක්ෂක මූලස්ථානයේ උසස් පුහුණු මධ්‍යස්ථානයේ දී පසුගියදා (26) පැවති උත්සවයකදී පරිත්‍යාගයක් ලෙස ලැබිණ.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු මිෂුකොෂි හිදේකි මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් අනුර ඒකනායක මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍ර අපරාධ වැඩසටහනේ ප්‍රධානි වෙතින් මෙය නිල වශයෙන් භාරගත් බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

අශ්ව බල 200 බලයකින් යුතු මෝටර් දෙකකින් සමන්විත ඇමරිකන් ඩොලර් 190,000 කට අධික වටිනාකමකින් යුතු මෙම බෝට්ටුව මීටර් 8.5ක දිගින් යුතු වන අතර කාර්ය මණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකුට එකවර ගමන් කල හැකි බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

පැයට සැතපුම් 45ක උපරිම වේගයකින් නාවික සැතපුම් 30ක දුරක් ගමන් කිරීමේ හැකියාව මෙහි පවතී.

මෙම සැසිය අතරතුරදී රියර් අද්මිරාල් ඒකනායක සහ ජපාන තානාපතිවරයා අතර සුහද සාකච්ඡාවක් ද පැවැත්විණි.