නාවික හමුදාව හම්බන්තොට පාසල් දෙකක යටිතල පහසුකම් වැඩි දියුණු කරයි

නොවැම්බර් 30, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරන පාසල් සංවර්ධන ව්‍යාපෘතීන් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිය 70 වැනි සංවත්සරයට සමගාමීව හුංගම, ඇත්බටුව කනිෂ්ඨ විද්‍යාලයේ සහ සූරියවැව, වීරියගම මහා විද්‍යාලයේ වැඩිදියුණු කළ යටිතල පහසුකම් එම විදුහල්වල සිසුන් වෙත ඊයේ (29) දින පවරා දෙන ලදී.

ඒ අනුව, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා විසින් පාසල් දෙකෙහි නවීකරණය කරන ලද යටිතල පහසුකම් විවෘත කරන ලදී.

නව පන්තිකාමර ගොඩනැගිලි, ගුරු විවේකාගාර සහ උද්‍යාන අලංකරණ කටයුතු ද පාසල් දෙකෙහිම පුළුල් කළ පහසුකම් අතර වන බව නාවික හමුදාව පවසයි.

දක්ෂිණ නාවික විධානය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රමය හා විශේෂඥ දැනුම ලබා දී ඇති අතර එය නාවික හමුදා සමාජිකයින්ගේ අධාර යොදාගෙන සිදු කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

මීට අමතරව සිසුන් 50 දෙනෙකු සඳහා පාසල් උපකරණ ප්‍රදානය කිරීම ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චන්දිමා උළුගේතැන්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

නාවික හමුදාව පවසන පරිදි, ශ්‍රී ලංකා නාවික හමුදා සංවත්සරයට සමගාමීව සෑම නාවික විධානයකම සම්පත් අඩු පාසල් අටක යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ඊයේ සාර්ථකව අවසන් විය.

කොවිඩ් -19 වසංගතය වැළැක්වීමේ මාර්ගෝදේශයන්ට අනුකූලව මෙම උත්සවය පැවැත් වූ බව නාවික හමුදාව තහවුරු කරයි.

දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රසන්න හේවගේ, හම්බන්තොට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක, විද්‍යාලයන්හි විදුහල්පතිවරුන්, ගුරු භවතුන්, සිසු දරුවන් සහ දෙමව්පියන් සීමිත පිරිසක් මෙන්ම ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරින් සීමිත පිරිසක් සහභාගී විය.