මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී භාණ්ඩ පහසුවෙන් හඳුනා ගැනීම සඳහා නාවික හමුදාවට උපකරණ ප්‍රදානයක්

දෙසැම්බර් 01, 2021

යුරෝපා සංගමයේ නියෝජ්‍ය ධූත මෙහෙය ප්‍රධානී තෝර්ස්ටන් බාග්ෆ්රීඩ් සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ නියෝජිතයින් විසින් මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී භාණ්ඩ පහසුවෙන් හඳුනා ගැනීම සඳහා භාවිතා කරනු ලබන පරිලෝකන යන්ත්‍ර හතරක් ශ්‍රී ලංකා නාවික හමුදාවට ඊයේ (නොවැම්බර් 30) භාර දෙන ලදී.

මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී භාණ්ඩ ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව සිදු කරනු ලබන සුවිශේෂී කාර්යභාරය තවදුරටත් කාර්යක්‍ෂමව හා ඵලදායී ලෙස සිදු කිරීම සඳහා පහසුවෙන් රැගෙනයාහැකි මෙම උපකරණ මගින් සඟවා ඇති මත්ද්‍රව්‍ය සහ වෙනත් නීති විරෝධී භාණ්ඩ පහසුවෙන් සොයා ගැනීමට හැකියාව ලැබෙන බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් නාවික හමුදා මූලස්ථානයේ දී මෙම පරිත්‍යාගය භාර ගන්නා ලදී.

නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යුරෝපා සංගමයේ සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.