ඊජිප්තු ආරක්‍ෂක අමාත්‍යවරයා හා ශ්‍රි ලංකා ආරක්‍ෂක ලේකම්වරයා අතර හමුව තුලින් දෙරටේ සහයෝගීතාවය තවදුරටත් වර්ධනයට

දෙසැම්බර් 06, 2021

ඊජිප්තු ආරක්‍ෂක ප්‍රදර්ශනය 2021 (EDEX 2021) සඳහා ඊජිප්තුවේ නිල සංචාරයක නිරත වූ ශ්‍රි ලංකාවේ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ඇතුළු දූත පිරිස ඊජිප්තුවේ ආරක්‍ෂක අමාත්‍ය ජෙනරල් මොහොමඩ් සාකි සමඟ 2021 නොවැම්බර් 30 අඟහරුවාදා සාර්ථක සාකච්ඡාවක නිරත විය.

දෙරට අතර ආරක්‍ෂක සහයෝගීතාව පුළුල් කිරීම, ත්‍රස්තවාදය මර්දනය කිරීම සහ අන්තවාදය ඇතුළු නව සහයෝගිතා ක්ෂේත්‍ර හඳුනා ගැනීම, බුද්ධි අංශ තොරතුරු හුවමාරු කරගැනිම, ආරක්‍ෂක හමුදා සඳහා පුහුණුව, ඉහළ පෙලේ නියෝජිතයන්ගේ සංචාරයන් ආදිය පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

ආරක්‍ෂක ලේකම්වරයා ඇතුළු දූත පිරිසට ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් එස්. කේ. පතිරණ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.එම්.පී.එස් රත්නායක එක්වූ අතර, පසුගිය දශක දෙක තුළ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ක්ෂේත්‍රය නියෝජනය කරමින් ඉහළ මට්ටමේ නිලධාරින් ඊජිප්තුවේ සංචාරයක නිරත වූ පළමු අවස්ථාව මෙය වේ. මෙම හමුවේදී ආරක්‍ෂක ලේකම්වරයා විසින් ඊජිප්තු ආරක්‍ෂක අමාත්‍යවරයාට එළඹෙන වසරේ නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසට ආරාධනාවක් ද කළේය.
\
ඊජිප්තු අරාබි ජනරජයේ ජනාධිපති අතිගරු අබ්දුල් ෆටාහ් අල් සිසි ගේ ප්‍රධානත්වයෙන් දෙවන වරටත් පවත්වනු ලැබූ ඊජිප්තු ආරක්‍ෂක ප්‍රදර්ශනයේදී ගොඩබිම, මුහුද සහ ගුවන ආවරණය කෙරෙන නවීන තාක්‍ෂණයෙන් යුත් පුළුල් පරාසයකින් යුත් ආරක්‍ෂක නිෂ්පාදන ඇතුළත් උපකරණ සහ පද්ධති ප්‍රදර්ශනය කෙරිණි.

ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපති එම්. කේ. පද්මනාදන්, දෙරටේ ආරක්‍ෂක අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරින් ද මෙම හමුවට සහභාගී විය.